තවත්
    මුල් පිටුවදේශීය පුවත්බොරැල්ල ආයුර්වේද රෝහල නව්‍යකරණයට

    බොරැල්ල ආයුර්වේද රෝහල නව්‍යකරණයට

    බොරැල්ල ආයුර්වේද ජාතික රෝහලේ සියලු සේවාවන් නව්‍යකරණයට ලක්කර වඩාත් පුළුල් නව සැලැස්මක් යටතේ අංග සම්පූර්ණ ජාතික රෝහලක් බවට පත්කිරීමට අවශ්‍ය කඩිනම් සැලසුම් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා රාජගිරිය ආයුර්වේද ජාතික රෝහලේ පාලන අධිකාරිය සමග පසුගිය දා දීර්ඝ සාකච්ඡාවක නිරත විය.

    අමාත්‍යවරයා මෙම සාකච්ඡාවට එක්වූයේ බොරැල්ල ආයුර්වේද ජාතික රෝහලේ සියලු සේවාවන් වඩාත් පුළුල් කර ප්‍රතිකාර සේවාවන් තවදුරත් ඵලදායී ලෙස ඉදිරියට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මානව, භෞතික සහ අනෙකුත් සම්පත් ලබාදීම පිළිබඳව සොයා බැලීම වෙනුවෙන් පසුගිය දා එම රෝහලේ සිදුකළ විශේෂ නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව පැවති සාකච්ඡාවේදී ය.

    බොරැල්ල ආයුර්වේද ජාතික රෝහලේ මේ වනවිට ඇඳන් ධාරිතාවය 216 කි. එහි වාට්ටු සංඛ්‍යාව 11 ක් වන අතර ගෙවන කාමර 87 කින් ද යුක්ත වේ. වාර්ෂික ව බාහිර රෝගීන් එක්ලක්ෂ පනස්දහසකට අධික පිරිසකට ප්‍රතිකාර සේවාවන් මෙම රෝහලෙන් ලබා දෙන අතර තුන්දහස් පන්සියයකට අධික පිරිසකට වාර්ෂික ව නේවාසික ප්‍රතිකාර සේවාවන් ලබාදෙනු ඇත. මෙරට එකම ආයුර්වේද ජාතික රෝහල ද මෙය වේ.

    මෙහි දී අමාත්‍යවරයා රෝහලේ බාහිර රෝගී අංශය, වාට්ටු, ගෙවන කාමර, සායන පරිශ්‍රය, මුළුතැන්ගෙය, ඖෂධාලය, පංච කර්ම ඒකකය, ඇතුළු රෝහලේ සියලු අංශ මෙන් ම රෝහල් පරිශ්‍රය නිරීක්ෂණයට ලක්කළ අතර රෝගී සත්කාර සේවාවන් සිදු වන ආකාරය මෙන් ම රෝහලේ විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු සියලු කාර්ය මණ්ඩලවල අවශ්‍යතාවයන් පිළිබඳවත්, රෝහලෙන් ලබාදෙනු ලබන ප්‍රතිකාර සේවාවන් පිළිබඳවත් විශේෂ අවධානය යොමු කරමින් සොයා බලන ලදී.

    රෝහල් කාර්ය මණ්ඩලය සමඟ ද සාකච්ජාවක නිරත වෙමින් කාර්ය මණ්ඩලයට පවතින රාජකාරි ගැටලු, යෝජනා, විසඳුම් පිළිබඳවත්, ඉදිරියේ දී රෝහල සංවර්ධනය කිරීමේ දී කාර්ය මණ්ඩලයේ යෝජනා සහ අදහස් පිළිබඳවත් මෙහි දී අමාත්‍යවරයා විමසා බලන ලදී. එහි දී විශේෂයෙන් ම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගැනීම සහ සායන සඳහා සහභාගිවන රෝගීන්ට දැනට සපයනු ලබන පහසුකම් හා සේවාවලට අමතරව තවදුරටත් අලුතින් එක්කළ යුතු සේවා පිළිබඳව අමාත්‍යවරයා මෙහි දී විශේෂයෙන් සොයා බැලීමක් සිදු කරනු ලැබී ය.

    රෝගී සත්කාර සේවාවේ දී සියලු ප්‍රතිකාර ක්‍රමවේදයන් ඒකාබද්ධ කරමින් ඒකාබද්ධ ප්‍රතිකාර සේවාවක් ලෙස පවත්වාගෙන යාමට යම් ක්‍රමවේදයක් සියලු දෙනාගේ සහයෝගය ඇතිව සකස් කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් අවධාරණය කළේ ය.

    නිවැරදි තීන්දු තීරණ ගෙන ගුණාත්මක හා කාර්යක්ෂම රෝහලක් ලෙස මෙම රෝහල ඉදිරියට පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙස ද අමාත්‍යවරයා මෙහි දී නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි.

    මෙම අවස්ථාවට ආයුර්වේද කොමසාරිස් ජනරාල් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන, රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය පරාක්‍රම හේමචන්ද්‍ර, නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත පද්මකුමාර, පරිපාලන නිලධාරිනී මයෝමි පෙරේරා යන මහත්ම මහත්මීන් මෙන් ම ආයුර්වේද විශේෂඥ වෛද්‍යවරුන්, ආයුර්වේද වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img