fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්GOSSIP'ගෞතම බුද්ධ මාතා' සිනමාපටයේ රූගත කිරීම් ඇරඹෙයි

    ‘ගෞතම බුද්ධ මාතා’ සිනමාපටයේ රූගත කිරීම් ඇරඹෙයි

    බෞද්ධ සාහිත්‍යයේ අපට හමුවන පරම පූජනීය උතුම් කාන්තා රත්නයක් වන මහා ප‍්‍රජාපතී ගෝතමියගේ ජීවන පුවත ඇසුරෙන් නිර්මාණය වන ‘ගෞතම බුද්ධ මාතා’ සිනමා පටයේ රූපගත කිරීම් ඊයේ(14) දිනට යෙදී තිබුණු සුබ මොහොතින් ආරම්භ කර තිබේ.

    සම්මානිත චිත්‍රපට අධ්‍යක්ෂ, මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ අධ්‍යක්ෂණයෙන් සහ හිටපු නියෝජ්‍ය කථානායක, සුමති සම්මාන නිර්මාතෘ තිලංග සුමතිපාල මහතාගේ නිෂ්පාදනයෙන් මෙම සිනමාපටය නිර්මාණය වේ.

    නිෂ්පාදක තිලංග සුමතිපාලගේ සංකල්පයකට අනුව මෙහි තිර රචනය සහ දෙබස් ද ලියා ඇත්තේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසිනි.

    රාජ මාතාව, රාජ මෙහෙසිය, රාජ කුමරිය යන නාමයන් ස්ත්‍රියන් හට දුලබ නොවෙති. නමුත් යම් ස්ත්‍රියක් හට “බුද්ධ මාතා”‍ යන නමක් වේ නම් එය ලෝකයේ පරම දුර්ලභය. ආත්ම කල්ප ගණනක් පෙරුම් පුරාගෙන විත් බුදුවන සිදුහත් කුමරුන්ට සිය මව් කුසය දුන් මහාමායා දේවිය හැරුණු කොට ඒ දුර්ලභ වාසනාව උදාවූයේ කල්ප ගණනකින් උපදින වාසනාවන්ත ස්ත්‍රී රත්නයකට පමණක්ම ය. ගෞතම බුදුන් නිසාම ඒ මහා වාසනාව ලද්දී මහා ප්‍රජාපතී ගෝතමී දේවියයි.

    සුවහසක් කාන්තාවන්ගේ විමුක්තිය වෙනුවෙන් මෙහෙණි සස්න ආරම්භ කීරීමටද පුරෝගාමී වූ ඈ, සිදුහත් කුමරා කුසින් නොවැදුවද එදා මෙදා තුර අප ගෞරවයෙන් වන්දනා කරන ගෞතම බුදු සසුනේ බුද්ධ මාතාවයි.

    මෙම සිනමාපටය පිළිබද අදහස් දක්වමින් මහාචාර්ය සුනිල් ආරියරත්න සදහන් කළේ “ගෞතම බුද්ධ මාතා” යනු මේ සමයේ නිර්මාණය නොවන ආකාරයේ විශාල ආයෝජනයක් සහිත දැවැන්ත සිනමා නිර්මාණයක් බවය.

    “මහා ප‍්‍රජාපතී ගෝතමිය බෞද්ධ සාහිත්‍යයේ එන ප‍්‍රධාන චරිතයක් වුවත් එතුමිය පිළිබදව තොරතුරු සුලබව සමාජගත වී නැහැ. එතුමියගේ ශ්‍රේෂ්ඨ චරිතය පදනම්කරගෙන මෙබඳු වටිනා සිනමා නිර්මාණයක් කරන්නැයි තිලංග සුමතිපාල මහතා මා හට ආරාධනා කළත් ඒ සඳහා අවශ්‍ය තොරතුරු සොයා ගැනීමට මට විශාල වෙහෙසක් දැරීමට සිදු වුණා. ඒ සඳහා පොත් පත් සහ ඓතිහාසික මූලාශ‍්‍ර රාශියක් පරිශීලනය කිරීමට මට සිදුවුණා.එය ඉතාම අසීරු කාර්යයක් වුවත් මම එය ඉතා සාර්ථකව සිදු කළා. මෙතෙක් කිසිඳු අයුරකින් හමුනොවූ මහා ප‍්‍රජාපතී ගෝතමියගේ ජීවන චරිතය මෙම චිත‍්‍රපටය හරහා ලෝකවාසී බෞද්ධ ජනතාවට හදුනාගන්නට සහ දැකගන්නට ලැබෙනවා. ඉන්දීය රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් සමගින් ප‍්‍රවීණ දේශීය රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් රැසක්ද චිත‍්‍රපටය සදහා රංගනයෙන් දායක වෙනවා” යනුවෙන් අධ්‍යක්ෂ මහාචාර්ය සුනිල් ආරියරත්න පැවසීය.

    නිෂ්පාදක තිලංග සුමතිපාල මහතා සිනමාපටය පිළිබඳ අදහස් දක්වමින් කියාසිටියේ “මාගේ මව දිවංගත මිලිනා සුමතිපාල මහත්මිය සිංහල සිනමාවට සම්මානනීය චිත‍්‍රපට ගොන්නක් තිළිණ කළා. ගඟ අද්දර,දුවට මවක මිස,උප්පලවණ්ණා සහ පත්තිනි ඒ අතරින් ප්‍රධානයි.බුදුන් වහන්සේගේ සුළු මව වූ මහා ප‍්‍රජාපතී ගෝතමිය නම්වූ ශ්‍රේෂ්ඨ කාන්තා චරිතය ඇසුරෙන්ද චිත‍්‍රපටයක් නිර්මාණය කිරීමේ ආශාවක් සහ බලාපොරොත්තුවක් මගේ මව තුළ තිබුණා. ඇගේ එම බලාපොරොත්තුව ඉටුකිරීමේ අරමුණද ඇතිවයි මා එම බුද්ධ මාතාවගේ කතා පුවත සිනමාවට නගන්නට තීරණය කළේ .මේ වසරේ අවසානය වන විට “ගෞතම බුද්ධ මාතා”‍ චිත‍්‍රපටය ප්‍රේක්ෂක ජනතාවට දැකබලා ගැනීමට අවස්ථාව උදාවේවි ”‍ යනුවෙනි.

    චන්න දේශප‍්‍රිය කැමරා අධ්‍යක්ෂණයෙන්, ආචාර්ය රෝහණ වීරසිංහ සංගීත අධ්‍යක්ෂණයෙන්, විමල් දේශප‍්‍රිය සහය අධ්‍යක්ෂණයෙන්, මංජුල අයගම කලා අධ්‍යක්ෂණයෙන්, ප‍්‍රියන්ත දිසානායක වෙස් ගැන්වීමෙන් සහ නිමල් විජය සිරිසේන නිෂ්පාදන කළමනාකරණයෙන් “ගෞතම බුද්ධ මාතා” සිනමා පටය සදහා දායක වී සිටිති.

    සිදුහත් කුමරු ඉපිද දින හතකින් මව මෙලොව හැරයෑමෙන් පසු, සුළු මව ලෙස සිදුහත් කුමරු රැකබලා ගැනීම පිණිස මහා ප‍්‍රජාපතී ගෝතමිය කළ අසීමිත කැපකිරීම පිළිබද නොඇසූ කතා පුවතක් “ගෞතම බුද්ධ මාතා” සිනමාපටය හරහා ඔබටත් නුදුරේදීම දැකබලා ගැනීමට ලැබෙනු ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.