fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්සල්මන් ඛාන් මරාදමා ලංකාවට පලාඑන්න හැදූ ඝාතකයන්ගේ කුමන්ත්‍රණය හෙළිවෙයි

    සල්මන් ඛාන් මරාදමා ලංකාවට පලාඑන්න හැදූ ඝාතකයන්ගේ කුමන්ත්‍රණය හෙළිවෙයි

    බොලිවුඩයේ සුපිරි තරුවක් වන සල්මන් ඛාන් ඝාතනය කොට, ඝාතකයන් ශ්‍රී ලංකාවට පලා ඒමට සූදානම් වූ කුමන්ත්‍රණයක් පිළිබඳ ඉන්දියානු පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

    සල්මන් ඛාන් ඝාතන කුමන්ත්‍රණයට සූදානම් වී ඇත්තේ ලෝරන්ස් බිෂ්නොයි කල්ලිය ලෙසින් හඳුන්වන ඉන්දියාවේ මිනීමැරුම්, කප්පම් ගැනීම් ඇතුළු උසාවියේ නඩු දුසිම් ගණනක් පවතින සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක් විසින් බවද එරට පොලිසිය උපුටා දක්වමින් ඉන්දියානු මාධ්‍ය වාර්තා අනාවරණය කරයි.

    ඔවුන්ගේ ඝාතන කුමන්ත්‍රණයට අනුව සල්මන් ඛාන්ට ප්‍රහාර එල්ල කොට අපරාධකරුවන් දකුණු තමිල්නාඩු ප්‍රාන්තයේ කන්‍යකුමාරි ප්‍රදේශයට ගොස් එතනින් බෝට්ටුවක් මගින් ශ්‍රී ලංකාවට පලා ඒමට සියල්ල සූදානම් කර තිබී ඇති බව ඉන්දීය පොලිසිය අනවරණය කරයි.

    ඉන්පසුව අපරාධකරුවන් අන්මෝල් බිෂ්නොයි නමැති කල්ලියේ ප්‍රධානියකුගේ පහසුකම් සැලසීම මත ශ්‍රී ලංකාවේ සිට වෙනත් රටකට ආරක්‍ෂාව සඳහා පලායාමට සැලසුම් කර තිබී ඇත. අන්මෝල් බිෂ්නොයි කැනඩාව ආශ්‍රිතව වෙසෙන බවට පැවසේ.

    පාකිස්ථාන අවි සැපයුම්කරුවෙකුගෙන් ලබාගත් අවි ආයුධවලින් සන්නද්ධව මහරාෂ්ට්‍රයේ පන්වේලහිදී සල්මාන්ගේ මෝටර් රථයට පහර දීමට කුමන්ත්‍රණය කළ බවටද මෙම කල්ලියට චෝදනා එල්ල වී තිබුණි.

    ලෝරන්ස් බිෂ්නොයි කල්ලිය විසින් කරන ලද සල්මන් ඛාන් ඝාතන කුමන්ත්‍රණයේ නව සැලැස්මට, මෙහෙයුම් ජාලයක් සහ AK47, M16 රයිෆල් ඇතුළු අධි අධිබලැති අවි ගබඩාවක් ද ඇතුළත් බව ඉන්දීය පොලිසිය සොයාගෙන තිබේ.

    නවි මුම්බායි පොලිසිය පවසන්නේ මෙම කල්ලිය විසින් සල්මාන් ඝාතන කුමන්ත්‍රණය සඳහා පුද්ගලයන් 60-70ත් අතර සංඛ්‍යාවක් වෙන වෙනම මේ සඳහා යොදවාගෙන ඇති බවය. ඔවුන්ට එකිනෙකට වෙනස් වූ කාර්යයන්, මෙම කුමන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට පවරා දී ඇති බවද අනාවරණය වී ඇත.

    සල්මන් ඝාතන කුමන්ත්‍රණයේ නව සැලැස්මට අනුව වෙඩික්කරුවන් ලෙස යොදා ගැනීමට සැලසුම් කර ඇත්තේ බාල වයස්කරුවන් බව ඉන්දීය පොලිසිය කියයි.

    සල්මාන් ඛාන්ගේ වාහනය සහ ඔහුට අයත් ගොවිපලක් මෙම කුමන්ත්‍රණ ක්‍රියාත්මක කිරීමට මූලික වශයෙන් සැලසුම් කර ඇති ස්ථාන අතර වූ බව ද එම වාර්තාවල දැක්වේ.

    මෙම ඝාතන තැත සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන්, මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අය අතර, ධනංජේ ටපේසිං නොහොත් අජේ කාශ්‍යප්, ගෞරව් භාතියා නොහොත් නහ්වි, වප්සි ඛාන් හෙවත් වසීම් චික්නා සහ රිස්වාන් ඛාන් යන අය මෙම කුමන්ත්‍රණයේ ප්‍රධාන භූමිකාවක් ඉටු කළ බවට එරට පොලීසිය විශ්වාස කරයි.

    ඩෝගාර් ලෙස පමණක් හැඳින්වෙන පාකිස්තාන වෙළෙන්දා සමඟ වීඩියෝ ඇමතුම් ඔස්සේ අවිආයුධ තොග ඇනවුම් කර ඒවා ලබාගැනීමට පහසුකම් සැලසූ බව කියනු ලබන්නේ, දැනට සිරගතව සිටින කල්ලි නායක ලෝරන්ස් බිෂ්නෝයි, ඔහුගේ ඥාති සොහොයුරෙකු වන අන්මෝල් බිෂ්නෝයි සහ සහයක ගෝල්ඩි බ්‍රාර් යන අයවලුන් ය.

    බිෂ්නෝයි කල්ලියේ ප්‍රධාන සාමාජිකයෙකු වන කාශ්‍යප් ජීවත් වූයේ නවී මුම්බායි හි කලම්බෝලි ප්‍රදේශයේ ය. ඔහු බිෂ්නෝයිගේ ඡායාරූපය ඔහුගේ Profile picture ලෙස තබාගත් අයෙකි. සුඛා යනුවෙන් හඳුනාගත් වෙඩික්කරු සමඟ සම්බන්ධ වී සිට ඇත්තේ ඔහුය.

    කාශ්‍යප් සහ ඔහුගේ කණ්ඩායම පන්වෙල් බස් නැවතුම්පොළ සහ දුම්රිය ස්ථානය වැනි ස්ථාන කිහිපයක සල්මාන් ඝාතන කුමන්ත්‍රණය වෙනුවෙන් රහසිගත රැස්වීම් පවත්වා ඇතැයි හෙළිව තිබේ.

    සල්මන් ඛාන්ගේ දේපළ පිළිබඳ ඔත්තු බැලීම ඇතුළු ඔවුන්ගේ සැලසුම් ක්‍රියාත්මක කිරීමට ද වැඩි දායකත්වයක් සපයා දී ඇත්තේ කාශ්‍යප් ය.

    මොවුන් විසින් ඉන්දියාවේ ප්‍රාන්ත ගණනාවක අපරාධ බොහොමයක් සිදුකොට ඇති බවට අනාවරණය වී තිබේ.

    කාශ්මීර්, ගංගානගර් පාකිස්ථාන දේශ සීමාව දක්වා කාශ්‍යප්ගේ නීති විරෝධී ක්‍රියාකාරකම්, අවි ගබඩා විහිදී ඇත.

    පසුගිය අප්‍රේල් 14 වැනිදා යතුරු පැදි දෙකකින් පැමිණි පුද්ගලයන් විසින් සල්මන් කාන්ගේ මුම්බායි බාන්ද්‍රාහි පිහිටි නිවසට වෙඩි තබා තිබුණි.

    මෙම සිද්ධියෙන් පසු ඊට අදාළ සැකකරුවන් සිව් දෙනකු ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගැනිණි.

    සාගර් පාල්, විකී ගුප්තා ගුජරාටයේදී අත්අඩංගුවට ගෙන තිබුණි. අනූජ් තාපන් සහ තවත් සැකකරුවකු පංජාභිදී අත්අඩංගුවට ගැනුණේ අප්‍රේල් 26 වැනි දායි.

    අනූජ් තාපන් පොලිස් අත්අඩංගුවේ පසුවමින් සිටියදී මියගොස් ඇති අතර මෙම කුමන්ත්‍රණ සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් හය දෙනෙකු ඉන්දීය පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

    කුමන්ත්‍රණය පිළිබඳ ඉහත තොරතුරු අනාවරණය තිබුණේ ඔවුන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදීය.

    ප්‍රබෝධා හෙට්ටිආරච්චි

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.