fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්"ආර්ථික කමිටු විවාදයට බය, වැඩපිළිවෙළක් නැති බියගුළු අය"

    “ආර්ථික කමිටු විවාදයට බය, වැඩපිළිවෙළක් නැති බියගුළු අය”

    ආර්ථික ක්ෂේත්‍රයේ ප්‍රගතියක් ගැන වාදවිවාද කිරීම විකාර වැඩක් ලෙස ඇතැමුන් පැවසුවත් ආර්ථික කණ්ඩායම් දෙකම සුහද වාදයක් කර, ඉන් පසුව නායකයන් දෙපලගේ විවාදයට ආරාධනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

    බංකොලොත් රටේ අප යා යුතු ගමන් මාර්ගය, දර්ශනය, වැඩපිළිවෙළ ගැන විවාදයක් හා ප්‍රශස්ත සාකච්ඡාවක් තිබිය යුතු බව හෙතෙම කියාසිටී.

    එමඟින් අදහස් හා යෝජනා හුවමාරු කර ගත හැකි බවත් සෑම දෙනකු ළඟ ම හොඳ හොඳ අදහස් ඇති නිසා එම අදහස් හා යෝජනා වාද විවාදයට ලක් කර මහජන විවාදයක් ක්‍රියාත්මක වීම අතිශය වැදගත් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    අප රට දැවැන්ත ලෙස මූල්‍ය හා ආර්ථික වශයෙන් බංකොලොත් වී ඇති මොහොතක ඇ. ඩොලර් බිලියන 100ක දේශීය විදේශීය ණය බරතාවයෙන් මිදෙන්න ඇති වැඩපිළිවෙළ, විසඳුම, කාලසටහන ගැන සාකච්ඡා කළ යුතු බවත් ඔහු කීය.

    මෙම අධ්‍යාපන ක්‍රමය දිගටම පැවතියහොත් වෙන්නේ විරැකියාව වැඩි වීමක් බව ඔහු පැවසීය.

    එක්සත් රාජධානිය වැනි රටවල උපාධිධාරීන් සොයා විවිධ සමාගම් හා ආයතන පැමිණියත් අප රටේ සිදුවන්නේ උපාධිධාරීන් රැකියා සොයායාමක් බව ද ඔහු කියයි.

    මේ වෙනස අප හඳුනා ගත යුතු බවත් මේ වන විට අප රටේ උපාධිධාරීන් 50000කට ආසන්න ප්‍රමාණයක් විරැකියාවෙන් පෙළෙන නිසා මොවුන් අවසානයේ විභාග සමත් වී උපාධි ලබාගෙන දේශපාලනඥයන් පසුපස ගොස් රැකියා ඉල්ලා සිටින යුගයක් ඇති බවත් මෙය අවබෝධ කර ගෙන දියුණු මාවතක් කරා යා යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (30) හම්බන්තොට මුල්කිරිගල වීරකැටිය රාජපක්ෂ මධ්‍ය විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 209 වැනි අදියර යටතේ රුපියල් 1,177,000 වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී පාසලේ නර්තන කණ්ඩායම සඳහා වන පහසුකම් ලබා ගැනීමට මෙන් ම පාසලේ ක්‍රීඩා භාණ්ඩ ලබා ගැනීමට පාසල් සංවර්ධන අරමුදලට රුපියල් ලක්ෂ 02ක මුදලක් ද පරිත්‍යාග කළේය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.