fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්"රට වටේම මුහුද තිබිලත් බැරිවුණා.. ලැජ්ජයි"

    “රට වටේම මුහුද තිබිලත් බැරිවුණා.. ලැජ්ජයි”

    ඡන්ද කාලයක් එන විට ලස්සන වචන කියමින් Blue Economy, නීල ආර්ථිකය ගැන කියමින් සිටියත් මේ මුහුදු සම්පත උපයෝගී කරගෙන අප රටේ ආර්ථික වර්ධනය ඉහළ දැමීමට නොහැකි වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    “රට වටේම මුහුද තිබිලත් ඉන් ප්‍රයෝජන ලබා ගැනීමට නොහැකි වීම ගැන ලැජ්ඡා විය යුතු” බවත් අප තවමත් මත්ස්‍ය ආහාර අවශ්‍යතාවෙන් සුරක්ෂිත වී නොමැතිව, අදටත් විවිධ මාළු වර්ග ආනයනය කරනා බවත් පැවසීය.

    අප කළ යුත්තේ මත්ස්‍ය සම්පතින් රටම සුපෝෂිත කරමින් මත්ස්‍ය සම්පත අපනයනය කිරීම වුවත් මුහුදෙන් වටවූ අප රට ඒ අවස්ථාව අහිමි කර ගෙන ඇති බවත් හෙතෙම කියයි.

    කරදිය පමණක් නොව මිරිදිය මත්ස්‍ය කර්මාන්තයත් දියුණු කළ හැකි අවස්ථා බොහෝමයක් පැහැර හැර ඇති බැවින් සමගි ජන බලවේග රජයක් තුළ නීල ආර්ථික ප්‍රතිපත්තිය මහපොළොවේ සත්‍යයක් යථාර්ථයක් බවට පත් කර නව තාක්ෂණය උපයෝගී කර ගෙන රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්ව වැඩසටහන හරහා තිරසර ආකාරයට රටේ සෞභාග්‍ය උදෙසා වැඩි දායකත්වයක් ලබා දෙන වැඩපිළිවෙළකට ප්‍රවේශ වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.

    ලක්ෂ 12කට ආසන්න ධීවර ප්‍රජාවක් සිටින බවත් ඒ අතර ධීවර පවුල් ලක්ෂ 3කට ආසන්න ප්‍රමාණයක් සිටින බවත් මොවුන්ගේ ජීවනෝපාය නව තාක්ෂණයෙන් සන්නද්ධ කර වඩා ඉහළ ආදායමක් ලබා ගැනීමට මාර්ගය සකස් කරන බවත් ඒ තුළින් රටට ලැබෙන ඉහළ ප්‍රතිලාභ ලබා ගැනීමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද(29) ගම්පහ මීගමුව කැපුම්ගොඩ ශාන්ත අන්තෝනි කණිෂ්ඨ ද්විතීයික විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 208 වැනි අදියර යටතේ රුපියල් 1,177,000 වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී පාසලේ නර්තන කණ්ඩායම සඳහා වන පහසුකම් ලබා ගැනීමට පාසලේ සංවර්ධන කටයුතු සඳහා පාසල් සංවර්ධන අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.

    සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතාගේ පියා වන හිටපු අමාත්‍ය දොස්තර ජයලත් ජයවර්ධන මහතාගේ 11 වැනි ගුණ සමුරුව නිමිති කර ගෙන මෙම වැඩසටහන පවත්වන ලදී.

    සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 60කට රුපියල් ලක්ෂ 1832ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 208ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 2314ක් වැය කර තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.