දිවයින පුරා ජුනි 07 දක්වා ක්‍රියාත්මක අඛණ්ඩ සංචරණ සීමා කාලය තුළදී දැනට ක්‍රියාත්මක කොවිඩ් උපමාන එලෙසින්ම වලංගු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.
එමෙන්ම එන්නත්කරණය සිදුකරනු ලබන්නේ සෞඛ්‍ය අංශ විසින් ඉතා විධිමත් ක්‍රමවේදයකට බැවින් ආරක්ෂක අංශ එයට සහය දක්වන අතර එවැනි ස්ථානවලට ගොස් බාධා කිරීම් සිදු කිරීම හෝ බලය පාවිච්චි කර, එම ක්‍රමවේදය වෙනස් කිරීමට කටයුතු නොකළ යුතු බවත් හෙතෙම කියා සිටියේ ය.
ගෘහස්ත ඩිලිවරි සම්බන්ධයෙන් විශාල සැළකිල්ලක් දක්වන බවත්, ක්‍රමවත්ව අවසර ලබාගෙන ඩිලිවරි කිරීම සඳහා දිරිමත් කිරීමට අදාළ සහාය ලබාදෙන බවත් හෙතෙම කීය.
අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම හා කොවිඩ් සංචරණ සීමා තත්වය යටතේ ජනතාවට සහන ලබාදීම සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද (28දින) පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පැවැසීය.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කර ඇති කොවිඩ් උපමාන මෙම මස 31න් අවසන් නොවන අතර එහි සඳහන් වගන්ති සෑම එකක්ම ලබන මස 07 වැනිදා දක්වා වන සංචරණ සීමා සහ අනෙකුත් කොවිඩ් නිරෝධායන නීති සඳහා වලංගු බව එහිදී අවධාරණය කෙරිණ.
ඒ අනුව මත්පැන් විකිනීමේ ස්ථාන, ආපනශාලා, රාත්‍රී සමාජශාලා, කායවර්ධන මධ්‍යස්ථාන (ජිම්) මෙන්ම සම්බාහන මධ්‍යස්ථාන වැනි දේ ජුනි 07 වනදා වන තෙක් කිසිඳු අයුරකින් විවෘත නොවන බවත්, කඩ සාප්පු සම්බන්ධයෙන්ද පසුගිය උපමානයන් අදාළ වන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.