සිංහල, දෙමළ අලුත් අවුරුදු සහ රාමසාන් උත්සව යෙදෙන දීර්ඝ සතිඅන්ත නිවාඩු කාලය තුළ දිවයින පුරා තැපැල් භාණ්ඩ බෙදීමේ විශේෂ සේවාවක් ක්‍රියාත්මක කෙරෙන බව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව රජයේ නිවාඩු දිනයක් වන අප්‍රේල් 12 වැනිදා දිවයින පුරා බෙදීම් සහිත තැපැල්/උප තැපැල් කාර්යාල මගින් – Cash-on-Delivery, විදේශ කුරියර් සේවාව සහ සාමාන්‍ය පාර්සල් බෙදීමේ විශේෂ සේවාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් තැපැල්පති එස්.ආර්. ඩබ්. එම්. ආර්. පී. සත්කුමාර මහතා මේ බව පැවසීය.
මේ අතර ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසුවේ ඉතිහාසයේ වැඩිම භාණ්ඩ ප්‍රමාණයක් මෙම අලුත් අවුරුදු සමයේ මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබී ඇති බවයි.
ඔහු මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (09) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය,
“බෙදාහැරීම සඳහා ඉතිහාසයේ වැඩිම භාණ්ඩ ප්‍රමාණයක් මෙම අලුත් අවුරුදු සමයේ මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබී තිබෙනවා. විදෙස් රටවල සිටින පිරිස් විසින් මෙරට ඥාති හිතවතුන්ට විශාල භාණ්ඩ ප්‍රමාණයක් එවා තිබෙනවා. අලුත් අවුරුදු සමය නිසා එම භාණ්ඩ ප්‍රමාදයකින් තොරව බෙදාහැරීම අපට අභියෝගයක් වී තිබෙනවා. එම තත්ත්වය වළක්වා ගැනීමට අප්‍රේල් 12 වනදා රජයේ නිවාඩු දිනයක් වුවත් එදිනට සේවයට වාර්තා කිරීමට තැපැල්පතිවරයා සහ තැපැල් වෘත්තීය සමිති මෙන්ම සමස්ත සේවකයින් එකඟතාවය පළකර තිබෙනවා. එහි නිෂ්කාශණ කටයුතු සඳහා රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද සිය සහයෝගය ලබා දෙන බව දන්වා තිබෙනවා.