පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ නව සභාපතිවරයා ලෙස පත්වූ රෝහිත අබේගුණවර්ධන මහතා එම තනතුරින් ඉවත් වෙනවාද? එසේ නැතහොත් ඔහු පිළිබඳ ගන්නා ක්‍රියාමාර්ගය කුමක්දැයි පාර්ලිමේන්තුවේදී අද විපක්ෂයේ විමසීමට ලක්විය.
නව සභාපතිවරයා පත්කිරීමට විරෝධය දක්වමින් මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ වනවිට ඉවත් විය.
එමෙන්ම අද දිනයේ දී නව සාමාජිකයකු ලෙස නිවේදනය කරන ලද වසන්ත යාපා බණ්ඩාර මහතා ද කෝප් කමිටු සාමාජිකත්වය ප්‍රතික්ෂේප කරන ලදී.
නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා මෙහිදී කියාසිටියේ රෝහිත අබේගුණවර්ධන මහතාට ඉල්ලා අස්වී අලුත් සාමාජිකයකු පත්කරගැනීමට අවස්ථාව ලබාදෙන්නේ ද නැතිනම් එම තනතතුර පිළිබඳ යම් තීරණයක් ගන්නේ ද යන්න පිළිබඳවයි.
කෙසේවෙතත් මේ පිළිබඳ පැහැදිලි උත්තරයක් මතුනොවුණු බැවින් නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා පැවසුවේ ‘ඇහුවම හරි හරි කියනවා උත්තරයක් දෙන්නෑ. හෙට උදේට ඇවිල්ලා උපවාස කරන්න තමා වෙන්නේ මේකට’ යනුවෙනි.
මෙහිදී නැගී සිටි විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මන්ත්‍රීවරයා මූලාසනාරූඩ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියේ අනවශ්‍ය ලෙස අතිරේකව මතුකරන ප්‍රශ්න සඳහා කාලය ගතවී ඇති බවත් න්‍යාය පත්‍රයට අනුව කටයුතු කරගෙන යාමට පියවර ගන්නා ලෙසයි.