පවත්නා අයහපත් කාලගුණය හේතුවෙන් විදුලිය ඇනහිටීම් සහ බිඳවැටීම් අධික ලෙස වැඩි වීම නිසා ලංකා විදුලි බල මණ්ඩලයේ සියලුම ඇමතුම් මධ්‍යස්ථාන වෙත පැයකට සාමාන්‍යයෙන් ඇමතුම් 5000 ක් පමණ ලැබෙන බව එහි සභාපති විජිත හේරත් මහතා පවසයි.
මේ හේතුවෙන් එලෙස එන ඇමතුම් වලින් 1/5 කට පමණ පිළිතුරු දීගත නොහැකි වන බව හෙතෙම පෙන්වා දෙයි.
පාරිභෝගිකයින් 76,000 කට ආසන්න සංඛ්‍යාවකට පමණ මේ වනවිටත් විදුලි සැපයුම අඩාල වී ඇති බව විදුලිබල අමාත්‍යාංශය පවසයි.
දඹුල්ල, කෑගල්ල, රත්නපුර, බලන්ගොඩ, හොරණ, ඉංගිරිය, කුරුණෑගල සහ කුලියාපිටිය යන ප්‍රදේශවල විදුලිය ඇනහිටීම් වාර්තා වී තිබේ. දැඩි සුළං සහ අධික වර්ෂාව හේතුවෙන් විදුලිබල සැපයුම අඩාල වී ඇති බැවින් සම්ප්‍රේෂණ කේබල් මත ගස් කඩා වැටී ඇති බව ද වාර්තා වී ඇත.
ලංකා විදුලිබල මණ්ඩලයේ පාරිභෝගික මධ්‍යස්ථාන 230 කට අනුයුක්තව සිටින බිඳවැටීම් කණ්ඩායම් දිවයින පුරා ඇති බිඳවැටීම් නිවැරදි කිරීම සඳහා පැය 24 පුරාම අඛණ්ඩව කටයුතු කරමින් සිටින බව ද විජිත හේරත් මහතා කියා සිටී.
වර්තමාන අයහපත් කාලගුණය සමඟ අධික ලෙස බිඳවැටීම් හේතුවෙන් සමහර අලුත්වැඩියාවන් වලක්වා ගත නොහැකි වීම ගැන ද කනගාටු වන බව සභාපතිවරයා කියාසිටී.
කිසියම් විදුලි පාරිභෝගිකයකුට විදුලි බිදවැටීමක් සිදුවී ඇත්නම් එය දැනුම් දුන් පසුව අලුත්වැඩියාව හැකි ඉක්මනින් සකස් කරන තුරු ඉවසිලිවන්තව කටයුතු කරන්නැයි සභාපතිවරයා ඉල්ලා සිටී.
ලංකා විදුලිබල මණ්ඩලයේ CEBCare ජංගම යෙදුම හෝ www.ceb.lk වෙබ් අඩවිය හරහා විදුලිය ඇනහිටීම් සම්බන්ධයෙන් පැමිණිලි කරන ලෙස පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටී.
BD Electricity_Account_Number ටයිප් කර 1987 වෙත යැවීමෙන් පාරිභෝගිකයින්ට කෙටි පණිවුඩ මගින් පැමිණිලි කළ හැකි බව ලංවිම පවසයි.