තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මහා ශිවරාත්‍රි සැමරුම අදයි

    මහා ශිවරාත්‍රි සැමරුම අදයි

    හින්දු බැතිමතුන් අතිඋත්කර්ශවත් ලෙස සමරන මහා ශිවරාත්‍රී දිනය අදට යෙදී තිබේ.

    එය හින්දු ආගමේ කැපී පෙනෙන උත්සවයක් වන මෙය ජීවිතයේ සහ ලෝකයේ “අන්ධකාරය සහ නොදැනුවත්කම ජය ගැනීම” සිහිපත් කරනු ලබයි.

    එය ශිව සිහිපත් කිරීම සහ යාඥා කිරීම, නිරාහාරව සිටීම සහ අවංකකම, අන් අයට තුවාල නොකිරීම, දානය, සමාව දීම සහ ශිව සොයායාම වැනි ආචාර ධර්ම හා ගුණ ගැන මෙනෙහි කිරීම සැමරේ.

    දැඩි ශිව බැතිමතුන් මේ රාත්‍රිය පුරාම අවදියෙන් සිටිති. තවත් අය ශිව වන්දනාවේ හෝ ජෝතිර්ලිංගම් වන්දනාවේ යති.

    මෙම උත්සවය ක්‍රිස්තු පූර්ව 5 වන සියවසේදී ආරම්භ වූවක් ලෙස සැලකේ.

    අදට යෙදී ඇති ශිවරාත්‍රි දින සැමරුම නිමිත්තෙන් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂනායකවරයා විසින් බැතිමතුන් වෙත සුබපැතුම් එක්කර තිබේ. එම සුබපැතුම් පණවුඩ පහතින්.

    මහා ශිවරාත්‍රී දින පහන් සිළ සැමට ආශීර්වාදයක් වේවා!
    – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

    මහා ශිවරාත්‍රී දින පහන් සිළ හින්දු ජනයාගේ අධ්‍යාත්මය ආලෝකවත් කරන්නා සේම, සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේ ජීවිත ආලෝකවත් කිරීමට ආශීර්වාදයක් වේවායි ප්‍රාර්ථනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    මහා ශිවරාත්‍රී දිනය නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද සුබපැතුම් පණිවුඩය මෙසේ ය.

    “ලොව ජීවත් වන සියලු ජීවීන් පීඩාවලින් මුදාගැනීමේ අරමුණින් ශිව දෙවියන්ට පැවැත්වූ බව කියන පූජාව ලොව පුරා හින්දු බැතිමත්හු මහා ශිවරාත්‍රී දිනයේදී සිහිපත් කරති. එසේම මිනිසා තුළ පවතින මමත්වය හා අහංකාරය දුරු කිරීමට ඉවහල් වන ප්‍රඥා ලෝකය පැතිරේවා යන අර්ථයෙන් යුතුව සමස්ත ලෝකවාසී හින්දු බැතිමත්හු මේ සමඟ එක් වෙති.

    “ඉතිහාසයේ කිසිදා නොවූ විරූ ආර්ථික අර්බුදයකින් පීඩාවට පත් රටේ ජනතාව ඉන් මුදාගැනීමට පසුගිය වසර දෙක තුළ රජය මහත් කැප වීමකින් යුතුව කටයුතු කළේය. හින්දු ජනතාවගේ පමණක් නොව, සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේම සශ්‍රීකත්වයේ අපේක්ෂා ඉටු කරමින් අද ඒ වැඩපිළිවෙළ සාර්ථකත්වය කරා පැමිණෙමින් තිබේ. මහා ශිවරාත්‍රී දිනයෙන් අර්ථවත් කරන සාමය සහ සංහිඳියාවද අගයමින්, මමත්වයෙන් හා අහංකාරත්වයෙන් තොරව රටක් ලෙස සියලු දෙනා එකට එක්ව රටේ අනාගතය වෙනුවෙන් ඒ වැඩපිළිවෙළ ඉදිරියටම ගෙන යා යුතුය. මහා ශිවරාත්‍රී දින පහන් සිළ හින්දු ජනයාගේ අාධ්‍යාත්මය ආලෝකවත් කරන්නා සේම, සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේ ජීවිත ආලෝකවත් කිරීමට ආශීර්වාදයක් වේවායි ප්‍රාර්ථනා කරමි.”


    රට ඉදිරියට යවන වැඩපිළිවෙළ ශිවරාත්‍රි එළියෙන් ඔපවත් කරමු
    – අගමැති දිනේෂ් ගුණවර්ධන

    වර්තමාන තත්ත්වයන් හමුවේ නැවත ගොඩනැඟෙමින්, රට ඉදිරියට ගෙන යන්නා වූ වැඩපිළිවෙළේ හරය මහා ශිවරාත්‍රී ආලෝකයෙන් ඔපවත් කරමු යැයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

    මහා ශිවරාත්‍රී දිනය නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරමින් අගමැතිවරයා එක්ක කළ සුබපැතුම් පණිවුඩය මෙසේ ය.

    “මෝහාන්ධකාරය දුරු වී, නුවණ නමැති ආලෝකය දැල්වේවා යි ප්‍රාර්ථනාව පෙරදැරිව ලොව පුරා හින්දු භක්තිකයන්, ශිව දෙවියන් වෙනුවෙන් පුද සත්කාර, වත් පිළිවෙත් ඉටු කරමින් මහා ශිවරාත්‍රී දිනය අර්ථවත්ව ගත කිරීමෙන් ආධ්‍යාත්මික විමුක්තිය උදා කරන බව විශ්වාසයයි.

    “ශ්‍රී ලාංකික හින්දු ජනතාව සියලු ජාති, ආගම් හා සංස්කෘති සමඟ කටයුතු කිරීමේ දිගු ඉතිහාසයකට උරුමකම් කියයි. එකී උරුමයන් හා එක්ව ජන ජීවිතය ගත කරමින් මහා ශිවරාත්‍රීයේ සෑම ජීවිතයක්ම ආලෝකවත් කරගනිමු. එලෙසම වර්තමාන තත්ත්වයන් හමුවේ නැවත ගොඩනැඟෙමින්, රට ඉදිරියට ගෙන යන්නා වූ වැඩපිළිවෙළයන්හි හරය මහා ශිවරාත්‍රී ආලෝකයෙන් ඔපවත් කරමු.”


    මෝහාන්ධකාරය දුරු වී ප්‍රඥාලෝකය උදාවේවා !
    – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

    මෝහාන්ධකාරය දුරු වී ප්‍රඥාව නමැති ආලෝකය උදා වී ධන ධාන්‍ය භව භෝග සම්පත් ලැබී අටුකොටු පිරවී ජන ජීවිත යහපත් වේවා යනුවෙන් මහා ශිවරාත්‍රී දිනය නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    එම සුබපැතුම් පණිවුඩය මෙසේ ය.

    “ලොව බලගතුම දෙවියන් ලෙස හින්දූන් විශ්වාස කරන ශිව දෙවියන්ගේ ආලෝක කදම්බයෙන් මෝහාන්ධකාරය දුරු කොට ප්‍රඥා මහිමය අත් කරගැනීමේ ප්‍රාර්ථනාව පෙරදැරිව අනාදිමත් කලක සිට මහ ශිවරාත්‍රී දිනය සමරති. ශිව දෙවියන්ට බැතියෙන් සිදු කරන පුද පූජා මඟින් ආර්ථික, සමාජීය, ආධ්‍යාත්මික හා නීරෝගි දිවි පෙවෙතක් හිමි වන බව හින්දු බැතිමතුන්ගේ විශ්වාසයයි.

    ප්‍රඥාවෙන් පරිපූර්ණ නීරෝගි පුරවැසි පරපුරක් යනු රටක අභිමානයයි. මහා ශිවරාත්‍රී දිනය සමරන මේ මොහොතේ සාමය, සංහිඳියාව සහ සතුට පිරි මනරම් අලුත් රටක් නිර්මාණය කිරීමේ අභියෝගය ජය ගැනීමට සමස්ත ජනතාවට හැකි වේවායි ප්‍රාර්ථනා කරමි.”

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img