තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දිනූ ලොතරැයි තෑගි ජනපති අතින් -NLB ආදායමෙන් රු.බිලියන 7ක් රජයේ අරමුදලකට

    දිනූ ලොතරැයි තෑගි ජනපති අතින් -NLB ආදායමෙන් රු.බිලියන 7ක් රජයේ අරමුදලකට

    ජාතික ලොතරැයි මණ්ඩලය විසින් 2023 වර්ෂයේ අලෙවි කරන ලද ලොතරැයි ටිකට්පත්වල සුපිරි ත්‍යාග සහ රුපියල් මිලියනයේ මුදල් ත්‍යාගවලට අදාළ චෙක්පත් සහ වාහන ත්‍යාග ජයග්‍රාහකයන් වෙත පිරිනැමීමේ උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද (16) පැවැත්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

    ගොවිසෙත, මෙගා පවර් සහ මෙගා පවර් 60 යන ලොතරැයිවල සුපිරි ත්‍යාග ජයග්‍රාහකයන් වෙත ඊට අදාළ මුදල් ත්‍යාග සහ වාහන ත්‍යාග පිරිනැමීම සහ ජයග්‍රාහී ලොතරැයි පත් අලෙවි නියෝජිතයන් වෙත ඇගයීම් සහතික හා ත්‍යාග පිරිනැමීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අතින් මෙහිදී සිදුවිය.

    මීට අමතරව ජාතික ලොතරැයි මණ්ඩලය විසින් අලුතින් හඳුන්වාදෙන “අද සම්පත” නව ලොතරැයි ටිකට් පත එළි දැක්වීම ද සිදු වූ අතර එම ලොතරැයියෙහි පළමු ටිකට්පත නාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.

    තවද ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති ලෙස ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා මහතා සිදු කළ මෙහෙවර අගයමින් ජාතික ලොතරැයි මණ්ඩලය විසින් පිරිනමනු ලබන සමරු තිළිණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඒ මහතා වෙත ප්‍රදානය කෙරිණි.

    ජාතික ලොතරැයි මණ්ඩලයේ 2023 වසරේ ආදායමින් රුපියල් බිලියන 7.1ක දායකත්වයක් රාජ්‍ය ඒකාබද්ධ අරමුදල වෙත පිරිනැමීමද මෙහිදී සිදු වූ අතර ඊට අදාළ වෙක්පත ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති වෛද්‍ය චමීර සී. යාපා අබේවර්ධන මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාර දෙනු ලැබීය.

    දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි රුපියල් මිලියනයේ ලොතරැයි ජයග්‍රාහකයන් වෙත ත්‍යාග මුදල් පිරිනැමීම සහ අලෙවි නියෝජිතයන් වෙත ඇගයීම් සහතික හා ත්‍යාග පිරිනැමීම මුදල් රාජ්‍ය අමාත්‍යවරුන් වන රංජිත් සියඹලාපිටිය හා ෂෙහාන් සේමසිංහ යන මහත්වරුන් අතින් සිදුවිය.

    කෙසේවෙතත් මෙරට අලෙවි කරනු ලබන විශාල තෑගි මුදල් සහිත ටිකට්පත්වල ප්‍රථම සහ දෙවන ත්‍යාග දිනුම් නොලබන බවත් යම් වංචනික තත්ත්වයක් පෙනී යන බව පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ ලොතරැයිපත් මිලදී නොගෙන වර්ජනය කරන ලෙසට ජනතාව තුළ විරෝධයක් මෑත කාලයේදී ගොඩනැගී තිබේ.

    ඇතැම් ලොතරැයිපත්වල අඛණ්ඩව කාලකයක් තිස්සේ පළමු සහ දෙවන තෑගි මුදල් නොමැතිව සෙසු කුඩා තෑගි මුදල් ඇදී තිබෙනු දක්නට හැකි විය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img