අනියම් පෙමක් මුල්කරගෙන විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරයෙකු ඝාතනය කර මළසිරුර කොටස්වලට කපා බැරලයක සඟවා ලිඳකට දමා සැඟවූ අපරාධයක් සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය ලබා සිටියදී නීතියට කට්ටිපනිමින් සැඟවී සිටි අඹුසැමි යුවලක් කොටුකර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් කළ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස බිරිඳව ඊයේ අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.
මෙම ඝාතනය සිදුව ඇත්තේ 1989 වසරේ ජනවාරි 13 වෙනිදාය. ඝාතනය වන්නේ බොරැල්ලේ පදිංචිව සිටි මහාචාර්යවරයෙක් වන ඉංජිනේරුවරයෙකි.
අතුරුගිරිය වැලිපිල්ලෑවේ සුමන මාවතේ පිහිටි නිවසකදී ඔහුව එකල මරා දමා සිරුර කොටස්වලට කපා බැරලයක එම බැරලය ලිඳකට දමා තිබුණි.
ඉංජිනේරුවරයා විදුලිබල මණ්ඩලයේ මූලස්ථානයේ සේවයේ නිරතව සිටියෙකි. එකල ඔහු සමඟ සේවයේ නිරත ඉංග්‍රීසි ලඝු ලේඛිකාවක් සමඟ ඔහු සම්බන්ධයක් ගොඩනගාගෙන සිට ඇත. ඔවුන් දෙදෙනාගේ සම්බන්ධය ලඝු ලේඛිකාවගේ සැමියාට දැනගන්නට ලැබීමෙන් අනතුරුව 1989 වසරේ ජනවාරි 13 දින සැමියා විසින් බිරිඳට පහරදී බිය ගන්වා ඉංජිනේරුවරයාට දුරකථන ඇමතුමක් දී සැමියා නිවසේ නොමැති බව සඳහන් කරමින් අතුරුගිරියේ නිවසට ගෙන්වාගෙන තිබේ. එහිදී සැමියාගේ කීමට බිරිද විසින් ඉංජිනේරුවාරයා කාමරයට ගෙන්වාගෙන ඇති බවත් එහිදී සැමියා විසින් ඔහුව මරා දමා සිරුර කැබලිවලට කපා බැරලයක දමා ලිඳකට දමා ඇති බව පොලීසිය කියයි.
අනතුරුව එම යුවල නිවස වසා දමා පළාගොස් ඇත. ඉංජිනේරුවරයාගේ අතුරුදන්වීම ගැන එම ඉංජිනේරුවරයාගේ බිරිඳ විසින් කළ පැමිණිල්ලකට අනුව බොරැල්ල පොලීසිය විිමර්ශන පවත්වා පළාගොස් සිටි අඹුසැමි යුවල අත්අඩංගුවට ගෙන බැරලයේ දමා තිබුණු සිරුරේ කොටස්ද සොයාගෙන තිබේ. ඒ සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතකර සිටි එම අඹුසැමි යුවල 1990 වසරේදී ඇප මත නිදහස ලැබීමෙන් අනතුරුව පළාගොස් සැඟවී සිට ඇත්තේ අධිකරණය මග හරිමිනි.
ඒ නිසාම ඔවුන් දෙදෙනාට විවෘත වරෙන්තු පවා නිකුත්කර තිබී ඇත. මෙහිදී නීතිපතිවරයා විසින් මෙම අපරාධය සම්බන්ධයෙන් අඹුසැමි යුවලට නඩු පවරා ඇති අතර ඔවුන් නොමැතිව නඩුව විභාගකර තිබේ. 2019 වසරේදී අධිකරණය විසින් ඔවුන් දෙදෙනා මෙම අපරාධය සම්බන්ධයෙන් වරදකරුකරමින් මරණීය දණ්ඩනය නියමකර ඇත. පොලීසියට නියෝගකර ඇත්තේ පළාගාස් සැඟවී සිටින අඹුසැමි යුවල අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරන ලෙසය.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය මේ සම්බන්ධයෙන් දීර්ඝ විිමර්ශනයක් පවත්වා බිරිඳව පානදුර අළුබෝමුල්ලේදී අත්අඩංගුවට ගෙන ඇත. ඇය මේ වන විට අවුරුදු 66ක් වයසැති එක්දරු මවක් බව පොලීසිය කියයි.