බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයට මීට වසර 02කට පෙර අත්බෝම්බයක් තැබූ සැබෑ පුද්ගලයා ගැන කිසිදු සෙවීමක් පොලීසිය තවමත් කර නැති බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ අද (14) චෝදනා කර තිබේ.
2022 වසරේ ජනවාරි 11 වනදා බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබි අත්බෝම්බයක් හමුවූ අතර 2019 දී සිදුවූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට යුක්තිය ඉල්ලූ අරගලය බියවැද්දීම එහි අරමුණ වූ බවත් හෙතෙම පැවසූහ.
“CCTV බලන්නේවත් නැතුව පල්ලියේ සේවකයෙකු ඇතුළු 04ක් අත්අඩංගුවට ගත්තා. විමර්ශන සම්බන්ධයෙන් නොයෙකුත් බොරු කිව්වා. CCTVවල අත්බෝම්බය තියපු කෙනා පැහැදිලිව පෙනුණා. පොලිසිය ඒ මනුස්සයා ගැන සෙව්වේවත් නැහැ. අවුරුදු 02කට පසුවත් අපි යුක්තිය ඉල්ලනවා මේ පිළිබඳ සාධාරණ විමර්ශනයක් කරන්න.
ඒ අත්බෝම්බය ගෙනල්ලා දේවස්ථානයේ තියපු පුද්ගලයා කවුරුන් හෝ ශ්‍රී ලංකාවේ කෙනෙක්. ඔහු ඉන්නවා. කිසිදු සොයාබැලීමක් වෙලා නැහැ. මොකද ඔහු ඔවුන්ගේ ආධාරකරුවෙක්. ඔවුනුයි ඔහුව එව්වේ. ප්‍රබලයෝ තමයි මේ අත්බෝම්බය දේවස්ථානයට එව්වේ. රැලිය පවත්වන්න එපා කියලා අවවාද කරන්නයි අත්බෝම්බය දේවස්ථානයට එව්වේ මිනිස්සුන්ව බය කරන්න හැදුවේ.
මේ වර්ෂය මැතිවරණ වසරක්. යම් හෙයකින් මැතිවරණය පැවැත්වුණහොත් අපිට අවස්ථාවක් තියෙනවා තීරණය කරන්න මේ දූෂිත දේශපාලනඥයින් රට තවදුරටත් පාලනය කරනවා ද නැතිනම් කවුරුන් හෝ අලුත් කෙනෙක්ට රට ඉදිරියට රැගෙන යාමේ වගකීම භාර දෙනවා ද? කියන කාරණාව.” යැයිද අගරදගුරු හිමියෝ කීහ.