තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්ලංවිමටයි -කංචනටයි එරෙහිව සජිත් උසාවි යයි

    ලංවිමටයි -කංචනටයි එරෙහිව සජිත් උසාවි යයි

    විපක්ෂ නායක, සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අද (8) දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

    ඒ විදුලි බල මණ්ඩලය පසුගිය මාස කිහිපය තුළ රුපියල් බිලියන 52ක විශාල ලාභයක් ලබාගෙන ඇතත්, එම ලාභය රටේ විදුලි පාරිභෝගිකයන්ට සහනයක් ලෙස ලබා නොදී, අධික ලෙස විදුලි බිල වැඩිකිරීමට එරෙහිව ය.

    එම විදුලි බිල ගෙවා ගත නොහැකි විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 8කගේ විදුලිය කපා දැමීමත් සහ ඒ තුළින් රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව පවසමින් මෙම පෙත්සම ගොනුකර තිබේ.

    ‘මහජන බාරය’ යන මූලධර්මය යටතේ ලක්ෂ සංඛ්‍යාත විදුලි පාරිභෝගිකයන්ගේ අයිතීන් සුරක්ෂා කිරීම උදෙසා මහජන උපයෝගීතා කොමිසම, ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, එම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. ඩී. යූ. කේ. මාපා පතිරණ සහ නීතිපතිවරයා වගඋත්තරකරුවන් කරමින් පෙත්සම ඉදිරිපත් කර ඇත.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් පෙනී සිටිමින් මෙම පෙත්සම ඉදිරිපත් කරන ලද්දේ ජනාධිපති නිතිඥ ෆර්මාන් කාසිම් මහතා ය.

    ඇස්තමේන්තුගත ජල විදුලි ජනනය ගිගාවොට් පැය 3750 සිට 4510 දක්වා ඉක්මවා යාමත් විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 400කින් අඩු වීම නිසා රුපියල් බිලියන 26ක් සහ විදුලි ඒකකයක මිල සියයට 18කින් වැඩි කිරීම නිසා රුපියල් බිලියන 26ක් බැගින් රුපියල් බිලියන 52ක් විදුලි බල මණ්ඩලය ලාබ ලබා ඇත.

    මේ මොහොතේ එම ලාභය රටේ විදුලි පාරිභෝගිකයන්ට සහනයක් ලෙස ලබා නොදී තවදුරටත් විදුලි පාරිභෝගිකයන්, ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ඇතුළු සමස්ත ජනතාවම පීඩාවට පත් කරමින් කටයුතු කිරීමට එරෙහිව මෙම පෙත්සම ගොනු කර තිබේ.

    මෙහි දී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ රට තුළ කාර්යක්ෂම විදුලි ජනන ප්‍රතිපත්තියක් නොමැති වී නිසා විදුලිය උත්පාදනය කිරීමේ හා කාර්යක්ෂමව සේවාවක් සැපයීමේ දී ගැටලු රාශියක් පවතින බවයි.

    විදුලි මිල පහළ දමන ලෙසත් ඒ උදෙසා මහජන උපයෝගීතා කොමිසම වැඩකටයුතු සිදු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ ය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img