තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කොළඹ-07 තනිව විසූ මහළු ගුරුවරියගේ ඝාතනයේ සුලමුල හෙළිවෙයි

    කොළඹ-07 තනිව විසූ මහළු ගුරුවරියගේ ඝාතනයේ සුලමුල හෙළිවෙයි

    කොළඹ 07 විජේරාම පාරේ නිවසක තනිවම ජීවත්ව සිටි මහළු වියැති සංගීත ගුරුවරිය මරා දමා ඇත්තේ, දූෂණය කර වයරයකින් ගෙල සිරකිරීමෙන් බව ඊයේ (02) අත්අඩංගුවට ගත් එම නිවස පිරිසිදු කිරීමට ගොස් තිබූ, ඝාතන සැකකරු පොලීසියට පාපෝච්චාරණය කර තිබේ.

    වසර කිහිපයකට පෙර සැමියා මියයාම නිසා 75 හැවිරිදි මෙම සංගීත ගුරුවරිය සිය නිවසේ පදිංචිව සිට ඇත්තේ තනිවම ය. ඇගේ දේහය පසුගියදා ඇයගේ නිවස තුළදී සොයාගෙන තිබුණේ ලද තොරතුරකට අනුව පොලීසිය එහි ‍ගොස් කළ සොයාබැලීමකදී ය.

    කොළඹ දකුණ කොට්ඨාශ අපරාධ විමර්ශණ කාර්යාංශයේ නිලධාරීන් විසින් එම සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ අවට නිවාස දෙකක හා ආයතන කිහිපයක ආරක්ෂක කැමරා පරීක්ෂා කිරීමේ ප්‍රතිඵලයක් ලෙසිණි.

    කුරුදුවත්ත, තාරවත්ත නැමැති මුඩුක්කු නිවාසවල කාලයක් ජීවත්වූ මෙම සැකකරු එම නිවාස කඩා දැමීමෙන් පසු දෙමටගොඩ සියපත් සෙවන නිවාස සංකීර්ණයේ 06 වැනි මහලේ නිවසක ජීවත්වන බව පොලීසිය කියයි.

    අවිවාහකයෙක් වන මෙම පුද්ගලයා ජීවත්වන්නේ සිය මවත් නැගණියත් නැගණියගේ සැමියාත් ඔවුන්ගේ දරුවාත් පදිංචිව සිටින නිවසේ ය.

    සැකකරු අවුරුදු 50ක් පමණ වයසැති පුද්ගලයෙක් වන අතර ඝාතනයට ලක්වූ ගුරුවරිය 75 හැවිරිදි කාන්තාවකි.

    මෙම සැකකරු කුරුදුවත්තේ පිහිටි නිවාසවලට ගොස් ගේ දොර සහ වතුපිටි ශුද්ධ පවිත්‍රකර දෙමින් උපයන මුදලින් ජීවත්වන්නෙක් වන අතර එම අවස්ථාවන්හිදී සොරකම් කිරීම ද සිදුකරයි.

    ගුරුවරියගේ නිවස ඔහු විසින් ඝාතනයට පෙර ද පැමිණ නිවසේ වටපිටාව පිරිසිදුකර දී ඇති බව පොලීසිය කියයි.

    තමාට එම ගුරුවරිය විසින් තේ සාදා පාන් ද ආහාරයට දුන් බවත්, පසුව ඔහුට ඇතිවූ ආශාවක් නිසා ඇඳ රෙද්දක් ගෙන ඇයගේ ඔළුව වසා ඇයව දූෂණය කොට, තමා පොලීසියට අල්ලා දේවි යැයි ඇති වූ බිය නිසා අසල තිබූ බිම පොලිෂ් කරන මැෂිමෙහි වයරයෙන් ගෙල සිරකර මරා දැමූ බවට සැකකරු පොලීසියට පවසා ඇත.

    සැකකරු විසින් සොරකම් කරනු ලබන්නේ කිසිවෙකුගේ අවධානයට යොමු නොවන නිවාසවල දේවල් බැවින් ඔහුට එරෙහිව පැමිණීලි පොලීසියට ලැබී තිබී නැත.

    මෙම කාන්තාව ඝාතනය කිරීමෙන් අනතුරුව පසුව එම නිවසට පැමිණි සැකකරු එහි තිබූ ගෑස් සිලින්ඩර් සහ තවත් භාන්ඩ කිහිපයක් සොරාගෙන ගොස් ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img