ශ්‍රී ලංකා පොලීසියේ මේ වන විට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිධූර 04 ක් පුරප්පාඩුවී ඇතත් එම පුරප්පාඩු මාස ගණනාවක තිස්සේ පිරවීමට බලධාරීන් අසමත්ව ඇත.
මෙම වසරේ මුල උතුරු පළාත් භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පත්මසිරි මුණසිංහ මහතා විශ්‍රාම ගැනීමත් සමග පළමු පුරප්පාඩුව සිදුවිය. අනතුරුව ඌව පළාත්භාරව සේවය කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතා විශ්‍රාම ගත්තේය. අනතුරුව වයඹ පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතා විශ්‍රාම ගියේය. ඒ මාස තුනකට පමණ පෙරය. සිව් වැනි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිධූරය පුරප්පාඩු වන්නේ දකුණු පළාත භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොහාන් සිල්වා මහතා විශ්‍රාම යාමත් සමගිනි. මාසයකට පෙර ඒ මහතා විශ්‍රාම ගත්තේය.
මේ වන විට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිධූරයට උසස් වීම් ලැබීමට සුදුසුකම් ලබා සිටින නියෝජ්‍ය පොලිස්පතිවරු අතර ඉදිරියෙන්ම සිටින්නේ පොලිස් ඇකඩමියේ ප්‍රධානියා වන සජීව මැදවත්ත මහතාය. ඊට පසුව පිළිවෙලින් අනුරාධපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්, පොලිස් ප්‍රවාහන අංශ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු සහ අගමැති ආරක්ෂක අංශ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති රාජිත ශ්‍රී දමින්ද යන මහත්වරු සිටිති.
මෙම නිලධාරීන් සිව් දෙනාම එකම දිනක සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස පොලිස් සේවයට එක්වූවෝ වෙති. වැඩ තහනමකට ලක්ව සිටින නාලක සිල්වාද මෙම කණ්ඩායමේ සාමාජිකයෙකි.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ වීමකට අත්අඩංගුවට ගන්නා විට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ප්‍රධානියා ලෙස සේවයේ නිරතව සිටියේ සජීව මැදවත්ත මහතාය. ඒ සම්බන්ධයෙන් ඔහුට මෙතෙක් කිසිදු චෝදනාවක් එල්ලවී නැත. අඩුම තරමින් චෝදනා පත්‍රයක්වත් ලබා දී නැත. පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් පළමු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිධූරය පුරප්පාඩුවන විට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට එම පුරප්පාඩුවට නම්කර ඉදිරිපත්කරන්නේ සජීව මැදවත්ත මහතාගේ නාමයයි. එහෙත් ඔහුට එම උසස්වීම ලබාදීම අමාත්‍යාංශයෙන් ප්‍රතික්ෂේප කරමින් එම පුරප්පාඩුව වැඩ තහනමකට ලක්ව සිටින ලලිත් ජයසිංහ මහතා වෙනුවෙන් වෙන්කර තබන ලෙස දැනුම් දී තිබේ.
යාපනයේ විද්‍යා දැරිවිය දූෂණය කර ඝාතනය කිරීමට සම්බන්ධ ස්විස් කුමාර නැමැති සැකකරුට පළායාමට සහය දුන්නේ යැයි චෝදනා එල්ලවීමක් හේතුකොටගෙන එකල යාපනය නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිටි ලලිත් ජයසිංහ මහතාගේ වැඩ තහනම් විය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුව අත්අඩංගුවට ගෙන නඩු පැවරීමටත් කටයුතු කළේය. ඒ සම්බන්ධයෙන් ලලිත් ජයසිංහ මහතා දේශපාලන පලිගැනීම් කොමිසම හමුවටද ගිය අතර එම කොමිසමේ නිර්දේශය වූයේ ලලිත් ජයසිංහ මහතා නැවත සේවයේ පිහිටුවන ලෙසය. එහෙත් නීතිපති දෙපාර්තමේන්තුව සහ ජාතික පොලිස් කොමිසම ඊට විරෝධය දැක්වූ අතර ලලිත් ජයසිංහ මහතා ලබන ජුනි 30 පොලිස් සේවයෙන් වයස අවුරුදු 60 සම්පූර්ණ වීමෙන් විශ්‍රාම ගැනීමට නියමිතය. එතෙක් ඔහු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිධූරයක් වෙන්කර තැබෙනු ඇත. ඒ අනුව ගත් කළ පිරවීමට මේ වන විට ඉතිරිව ඇතැයි කියැවෙන්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිධූර 03 ක් බවට වූ යම් තර්කයක්ද ගොඩනැගීමට පුළුවනි.
කෙසේ වෙතත් ලබන ජුනි 09 වෙනිදා මේ වන විට පොලිස් පරිපාලන අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරිගුණවර්ධ මහතා විශ්‍රාම ගැනීමට නියමිතය. ලලිත් ජයසිංහ මහතා ද 30 වෙනිදා විශ්‍රාම ගන්නා බැවින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිධූර පුරප්පාඩු සංඛ්‍යාව 05 ක් දක්වා ඉහළ යනු ඇත. ඒ අනුව එම පස්වැනි අවස්ථාවව හිමිවන්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහන මහතාටය. මෙම පස් දෙනාගෙන් එක් නිලධාරියෙකුට හෝ දෙදෙනෙකුට අනාගත පොලිස්පතිධූරයක් දැරීමේ වාසනාවද හිමිවනු ඇත.