තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බ්‍රිතාන්‍ය කිරීටයෙන් ස්වාධීන වූ ජනරජ ව්‍යවස්ථාව හැදූ මණ්ඩලයේ ළාබාලතම සාමාජිකයා 49 වසක...

    බ්‍රිතාන්‍ය කිරීටයෙන් ස්වාධීන වූ ජනරජ ව්‍යවස්ථාව හැදූ මණ්ඩලයේ ළාබාලතම සාමාජිකයා 49 වසක මතක සිහිකරයි

    ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස ලබා පූර්ණ ස්වාධීන රාජ්‍යයක් බවට පත්වීමට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ප්‍රමුඛ රජය විසින් සම්මත කරගත් ප්‍රථම ජනරජ ව්‍යවස්ථාව සැකසීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ ළාබාලතම සාමාජිකයා වූ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා එම මොහොත සිහිපත් කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ.

    එම නිවේදනය පහත දැක්වේ.

    “ශ්‍රී ලංකාවේ 49 වෙනි ජනරජ දිනය අදට (22) යෙදී තිබේ.

    1815 උඩරට ගිවිසුම ඔස්සේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත් වූ අපේ රටට 1948 ලැබුණේ ඩොමීනියන් නිදහසකි. රටට එලෙස නිදහස ලැබුණ ද තව දුරටත් අපේ රාජ්‍ය නායකයා වූයේ බ්‍රිතාන්‍ය කිරීටයෙන් පත් කළ අග්‍රාණ්ඩුකාරවරයා ය.

    බ්‍රිතාන්‍ය කිරීටය නියෝජනය කරන අග්‍රාණ්ඩුකාරවරයා අත්සන් කරන තුරු මෙරට පාර්ලිමේන්තුව ඒකමතිකව සම්මත කරන පනතක් පවා නීතියක් බවට පත්වූයේ නැත. එසේ ම ලංකාවේ සන්නද්ධ සේවාවල සේනාධිනායකයා අග්‍රාණ්ඩුකාරවරයා වූ අතර උපරිමාධිකරණය වූයේ බ්‍රිතාන්‍ය ප්‍රිවි කවුන්සිලයයි.

    ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයෙන් සම්පූර්ණ නිදහස ලබා පූර්ණ ස්වාධීන රාජ්‍යයක් බවට පත්වූයේ 1972 මැයි 22 දින ය. ඒ ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සහ එතුමිය ප්‍රමුඛ රජය විසින් සම්මත කරගත් ප්‍රථම ජනරජ ව්‍යවස්ථාව මගිනි. එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ ළාබාලතම සාමාජිකයා ලෙස මම කටයුතු කළෙමි.

    සිය වසකට අධික කලක් අපේ මාතෘභූමියට අහිමිව පැවැති පූර්ණ නිදහස, ස්වෛරීභාවය සහ මාතෘභූමියේ පරමාධිකාරී බලය ප්‍රථම ජනරජ ව්‍යවස්ථා මගින් නැවතත් රටට හිමි වූයේ අද වැනි දිනක ය. එය අපේ රට ලැබූ සුවිශේෂ විජයග්‍රහණයක් වන අතර ඊට සම්මාදම් වීමට අවස්ථාව ලැබීම මම මහත් භාග්‍යයක් කොට සලකමි.”

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img