මෙරට ලොකු ලූණු මිල ගණන් විශාල ලෙස ඉහළ යෑම සඳහා විසඳුමක් ලබාදීමේ අවශ්‍යතාවය පිළිබඳව ඉන්දු -ලංකා රජයන් අතර සාකච්ඡා වී තිබේ.
ඒ ඉන්දියාවේ නිල සංචාරයක නිරත මෙරට කථානායක මහින්ද යාපා අබේවර්ධන ඇතුළු දූත පිරිස, ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් මහතා අතර පැවති හමුව අතරතුර දී ය.
ශ්‍රී ලංකාවට මුහුණදීමට සිදුව ඇති ආර්ථික අභියෝගය ජයගැනීම සඳහා සියලු සහයෝගය ලබා දෙන බවට මෙහිදී ඉන්දීය විදේශ ඇමතිවරයා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඉන්දීය සංචාරක පිරිස වැඩි කිරීම සඳහා පියවර ගන්නා බවද ඒ මහතා සඳහන් කළේය.
එසේම ඉන්දියාවේ සංචාරයේ නිරත ශ්‍රී ලාංකිකයන්ගේ වීසා පහසුකම් කඩිනම් කිරීම මෙන්ම ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඉන්දීය සංචාරකයන්ට නොමිලේ වීසා පහසුකම් ලබා දීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.
එසේම ශ්‍රී ලංකාවේ ආයෝජනය සදහා ඉන්දියානු ආයෝජකයන්ට මෙහිදී කතානායකවරයා ආරාධනා කළේය. ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සඳහා ඉන්දීය ආයෝජකයන් රැසක් කැමැත්තෙන් සිටින බවත් ඒ සඳහා ඔවුන් දිරිමත් කරන බවත් ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
එසේම පසුගිය සමයේ ඇතිවූ අර්බුදකාරී තත්ත්වය තුළ මෙරට ප්‍රජාතන්ත්‍රවාදය තර්ජනයට ලක්වන අවස්ථාවකදී ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටීම පිළිබඳව කථානායකවරයා ඉන්දීය විදේශ අමාත්‍යවරයාට සිය කෘතවේදීත්වය පළ කළේය.
වසර තුනකින් ගෙවීම සඳහා ලබා දුන් ඉන්දියානු රුපියල් මිලියන 550ක ණය මුදල ගෙවීම සඳහා තවත් වසර දෙකක කාලයක් ලබාදීම සම්බන්ධයෙන් ද කථානායකවරයා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයාට ස්තූතිය පළ කළේය.
අන් කවර රටකටත් වඩා ශ්‍රී ලංකාවේ සැබෑම ඥාතියෙක් ලෙස මෙරටට ලබා දෙන්නා වූ සහයෝගය පිළිබඳව කතානායකවරයා සිය විශේෂ ගෞරවය මෙහිදී පළ කර සිටියේය.
කථානායකවරයා ප්‍රමුඛ දූත පිරිස ඉන්දියානු රාජ්‍ය සභා සභාපති සහ ඉන්දීය උප ජනාධිපති ජග්දීප් දන්කර් මහතා ද (Jagdeep Dhankhar) හමුවිය. මෙම හමුව පිළිබඳව සිය සතුට පළ කරමින් රාජ්‍ය සභා සභාපතිවරයා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවෙන් මෙවැනි දූත පිරිසක් සම්බන්ධ වූයේ වසර පහකට පසු බවයි.
දෙරට මහජනතාව අතර පවතින ගැඹුරු සම්බන්ධතාවය තවදුරටත් ආරක්ෂා කර ගත යුතු බව මෙහිදී සාකච්ඡා විය. දෙරටේ ධීවර කර්මාන්තයේ දී මුහුදු සීමාව ඉක්මවා යාම ඇතැම් විට චේතනාන්විතව සිදු නොවිය හැකි බැවින් ධීවරයන් අත්අඩංගුවට ගැනීමේදී ඒ සඳහා දෙරටම යම් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමේ අවශ්‍යතාවය ද ඉන්දියානු රාජ්‍ය සභා සභාපතිවරයා විසින් මෙහිදී පෙන්වා දෙන ලදී.