තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දෙවියන්ට පිදූ රන්තැටිය අතුරුදන් කළාට සෙවූ පොඩි කපුවා භාරවෙයි

    දෙවියන්ට පිදූ රන්තැටිය අතුරුදන් කළාට සෙවූ පොඩි කපුවා භාරවෙයි

    ඉන්දියාවේදී මරුමුවට පත්වූ අංගොඩ ලොක්කා නැමැති පාතාලයේ ප්‍රබල අපරාධකරුගේ බිරිඳ විසින් සිය දරුවාගේ අපලයක් සඳහා භාරයක් ලෙස කතරගම දේවාලයට පූජා කළ රන් පවුම් 38ක් බරති රන් තැටිය අතුරුන්වීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙසින් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි කතරගම දේවාලයේ ගබඩා භාරකරු වන සමන් ප්‍රියන්ත නොහොත් චූටි කපූවා කොළඹ අපරාධ කොට්ඨාශය හමුවට පැමිණ අද භාරවී ඇත.

    කතරගම දේවාලයේ ප්‍රධාන කපුතැන වන සොමිපාල රත්නායක සහ දේවාලයේ ගබඩාභාරකරු වන චූටි කපුතැන අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාශයේ විශේෂ පොලිස් කණ්ඩායමක් පසුගිය 11 වෙනිදා කතරගමට ගියද ඔවුන් නිවෙස්වලින් අතුරුදන්ව සැඟවී සිටි බැවින් අත්අඩංගුවට ගැනීමට නොහැකි විය.

    මෙම කපුමහතුන් දෙදෙනා ඥාතීන්වන බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

    පොලීසිය විශ්වාස කරනුයේ ප්‍රධාන කපුතැන ඉදිරි දින කිහිපය තුළ බොහෝ විට භාරවනු ඇති බවය.

    කතරගම දේවාලයට පූජා කළ මෙම රන් තැටිය අතුරුදන්වීම ගැන පොලිස්පතිවරයාට 2021 වසරේදී පැමිණිල්ලක් ඉදිරිපත්කර ඇත්තේ කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් වික්‍රමරත්න මහතාය.

    එවකට සිටි පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ඒ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමේ වගකීම පවරනු ලබන්නේ කොළඹ අපරාධ කොට්ඨාශයටය.

    එහි අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා මහතා යටතේ විශේෂ පොලිස් කණ්ඩායමක් විමර්ශන පවත්වා හෙළිකර ගනු ලබන්නේ අංගොඩ ලොක්කාගේ දරුවාගේ අපලයක් දුරු කිරීමට එම රන් තැටිය දරුවාගේ නමද තැටියේ කොටා දේවාලයට 2019 වසරේ ජූලි 03 වෙනිදා පූජාකර ඇති බවය. පවුම් 38ක රනින් මෙම තැටිය සකස්කර ඇත්තේ දරුවාගේ පියා වූ අංගොඩ ලොක්කාගේ වයසට සරිලන ලෙසය. එය සිදුකර ඇත්තේද කපුවෙකුගේ උපදෙස් මත බවද කොළඹ අපරාධ කොට්ඨාශය සිය විමර්ශන වලින් හෙළිකරගත්තේය. මෙම රන් තැටිය අංගොඩ ලොක්කා විසින් සිය ගෝලයින් මගින් ලබාදුන් රත්තරන් යොදා සකස්කර ඇත්තේ කතරගම රන්කරුවෙකු මගිනි.

    දේවාලයට පූජා කළ මෙම රන් තැටිය දේවාලයේ ගබඩාවෙන් අතුරුදන්ව ඇතැයි නිලමේවරයා දැනගෙන ඇත්තේ ඔහුට ලද නිර්නාමිතක දුරකථන ඇමතුමක් මගිනි. ඒ අනුව එම තැටිය ගැන සොයා බැලීමේදී එය අතුරුදන්ව ඇතැයි තහවුරුවීමෙන් අනතුරුව ඒ ගැන කපුමහතුන්ගෙන් විමසන විට එම තැටිය භාරගත් ප්‍රධාන කපු මහතා පවසා ඇත්තේ එය නැවත පූජා කල අයම රැගෙන ගිය බවය. අංගොඩ ලොක්කාගේ බිරිඳගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හෙළිවී ඇත්තේ එය ඇය විසින් නැවත රැගෙන යාමක් සිදුකර නොමැති බවය.

    මේ සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක් ආරම්භවීමත් සමඟ එම රන් බන්දේසියට සමාන බන්දේසියක් සකස්කර රන් තැටියක් දේවාලයේ තබා තිබුණත් පූජා කල රන් තැටියේ ඡායාරූපයක් තිබුණු බැවින් ප්‍රධාන කපු මහතාට ගැලවිල්ලක් නොවීය. එම ව්‍යාජ රන් තැටිය ලක්ෂ 41ක් ලබාදී පූජාකල රන් තැටිය නිර්මාණයකරගත් රන්කරුගෙන්ම නිර්මාණයකරගෙන ඇති බවද පොලිස් විමර්ශනවලින් හෙළිවිය. එයකරගෙන ඇත්තේ ප්‍රධාන කපු මහතා බවද අනාවරණය වී තිබුණි. එම තැටිය දේවාලයට රැගෙනවිත් තබා ඇත්තේ චූටි කපු මහතා බවද විමර්ශන වලින් අනාවරණය වී තිබුණි.

    මේ සම්බන්ධයෙන් තිස්සමහාරාමය මහේස්ත්‍රාත් අධිකරණයට කොළඹ අපරාධ කොට්ඨාශය විසින් කරුණු වාර්තාකර තිබුණි. විමර්ශන උදෘතයන් නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීමට යොමුකර තිබුණි. ඒ අනුව නීතිපතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරන ලෙසය.

    ඒ අනුව අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී භාරවුණු චූටි කපු තැන අධිකරණයට අද දිනයේම ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img