තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වසර 108කට පෙර වූ ඝාතනයක් ගැන පරීක්ෂණ කරන්න ජනපතිගෙන් යෝජනාවක්

    වසර 108කට පෙර වූ ඝාතනයක් ගැන පරීක්ෂණ කරන්න ජනපතිගෙන් යෝජනාවක්

    යටත්විජිත යුධ අධිකරණයේ තීන්දුවක් මත වසර 108කට පෙර සිදු කළ එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් මහතාගේ ඝාතනය පිළිබඳ පරීක්ෂණයක් පවත්වා සැබෑ තොරතුරු අනාවරණය කොට, ඔහු වෙත යුක්තිය ඉටු කිරීම පිණිස නිර්දේශ ඉදිරිපත් කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඇමති මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය ලැබී ති‍බේ.

    ශ්‍රී ලංකාවේ යටත්විජිත පාලන අධිකාරිය විසින් රජයට එරෙහිව කැරලි කෝලාහල සහ රාජද්‍රෝහී ක්‍රියාවන් සිදු කළේ යැයි චෝදනා එල්ල කරමින් යුද අධිකරණයක් හමුවට පමුණුවා, රාජද්‍රෝහී චෝදනාවට වරදකරු කොට, එවකට 27 වියැති එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් මහතා 1915-07-07 දින කිසිදු අභියාචනයක් නොසලකා මරණ දඩුවමට ලක් කරනු ලැබ ඇත.

    මිය ගිය හෙන්රි පේද්‍රිස් මහතාගේ දේහය, යුද නීතිය යටතේ වරදකරු වූ අපරාධකරුවෙකු ආදාහනය කිරීමට නියම කර ඇති ක්‍රියාපටිපාටිය අනුගමනය කරමින්, හෙළි නොකළ පරිශ්‍රයක ආදාහනය කර තිබේ.

    එතුමාගේ ඝාතනය එවකට මෙරට පාලනය කරන ලද ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් සිදු කරන ලද සැලැස්මක ප්‍රතිඵලයක් වශයෙන් පසුව හඳුනා ගනු ලැබ තිබේ.

    ඒ අනුව, එම ඝාතනය පිළිබඳව සැබෑ තොරතුරු අනාවරණය කර ගෙන එතුමාට යුක්තිය ඉටු කිරීම පිණිස අදාළ කරුණු අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීම පිණිස ජනාධිපතිවැයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    එඞ්වඞ් හෙන්රි පේද්‍රිස් තරුණයා උපත ලද්දේ 1888 වසරේ අගෝස්තු 16 වන දින ගාලූ නගරයේ දංගෙදර නමින් හැඳින්වූ ප‍්‍රදේශයේය. දෙමව්පියන් වූයේ ගාල්ලේ විසූ ඞී. ඞී. පේද්‍රිස් මහතා සහ කරන්දෙණියේ ඇත්වලගොඩ විසූ කලූවාදේව මල්ලිනෝ නම් මාතාවයි.

    1915 මැයි මාසයේ ඇති වූ අරගලයක් නිසා සිංහල හා මුස්ලිම් ජනයා අතර නොසිතූ නොවිරූ ගැටුමක් ඇති විය. ඉංග‍්‍රීසි පාලකයන් සිදු කළේ ගැටුම ව්‍යාප්ත වීමට ඉඩකඩ සලසා දීමයි. එයට හේතුව වූයේ රට තුළ බෞද්ධ ව්‍යාපාරික ප‍්‍රජාවක් බිහි වූ නිසා එය ඉංග‍්‍රීසින්ගේ පාලනයට අහිතකර බලපෑමක් වෙමින් තිබීමය.

    මෙම නගරයේ ප‍්‍රබල සිංහල බෞද්ධ ව්‍යාපාරිකයෙකු වූ ඞී. ඞී. පේද්‍රිස් මහතාගේ (හෙන්රිගේ පියා) දියුණුව සහ ඔහුගේ දැහැමි පිළිවෙත ඉංග‍්‍රීසින්ගේ සිත් නොගත් එකක් විය. මේ අතරේ නාගරික හමුදා අණ දෙන නිලධාරියෙකු වූ ඔහුගේ පුතණුවන් වූ හෙන්රි පේද්‍රිස් සිදු කළේ සිංහල හා මුස්ලිම් ප‍්‍රජාව අතර පැතිරී යන අරගලය සමනය කිරීමට කටයුතු කිරීමය. මෙය ඉංග‍්‍රීසින්ගේ කණස්සල්ලට හේතු වූ නිසා හෙන්රි පේද්‍රිස් තරුණයාට දඬුවම් දීම සුදුසු යැයි බොරු චෝදනාවක් ගොනු කළේ ඔහු තම හමුදා කඳවුරේ අය සමග මුස්ලිම් අයට හිරි හැර කරනවා යනුවෙන් පවසමිනි. නමුත් ඔහු සිදු කළේ ඇතිවීමට යන අරගල සංසිඳවීමට කටයුතු කිරීමය.

    ඔහුට මරණීය දණ්ඩනය නියම කළේ 1915 ජූලි 02 දා වෙඩි තබා ඝාතනය කිරීමටය. එම දඬුවම පසුව ජූලි 08 දිනට ආණ්ඩුකාරයා විසින් කල් දමන ලදී. ඒ අතරතුරදී ජාතිවාදී අරගලයට සම්බන්ධ නොවූ එය පැතිරීම වැළැක්වූ තරුණයෙකු කුමන්ත‍්‍රණකාරීව අල්ලා සිරගතකොට මෙලෙස ඝාතනය කිරීමට තීරණය කිරීම ගැන සිංහල හා දෙමළ ජාතික නායකයන් රජයට විරුද්ධව විවිධ විරෝධතා දැක් වූ නිසා ජූලි 08 වෙනි දිනට නියමිත වූ දඬුවම ජූලි 07 වෙනි දිනට වෙනස් කළේය.

    ඒ අවස්ථාවේදී පේද්‍රිස් තරුණයාගේ පියා වූ ඞී. ඞී. පේද්‍රිස් මහතා තම පුතාගේ බරට මුදල් හෝ රත්තරන් රජයට පිරිනමන්නට කැමති බව ප‍්‍රකාශ කරමින් නිදහස ඉල්ලා සිටියත් එය ඉටු වූයේ නැත. 1915 ජූලි මස 07 වන දිනට යෙදුණු ඔහුගේ ඉරණම විසඳෙන තීන්දුවට ඔහු බිය වූයේ නැත. පේද්‍රිස් තරුණයා ඉංග‍්‍රීසි ආණ්ඩුවට ඉල්ලීම් 5 ක් ඉදිරිපත් කළේ ඉතා අභීත සිංහල බෞද්ධ තරුණයෙකු ලෙසය.

    එම ඉල්ලීම් 05 මෙසේය.

    1. අවසන් වරට දෙමවුපියන් දැකීමේ අවසරය.
    2. මහා සංඝයාට අට පිරිකර පූජා කිරීමට අවස්ථාවක් ලබා ගැනීම.
    3. සුද්දන් අතින් නොව පන්ජාබ් සොල්දාදුවන් ලවා වෙඩි තැබීමට නියම කිරීම.
    4. තමා සමග සේවය කළ හමුදාවේ හිතවතුන්ට තේ පැන් සංග‍්‍රහයක් දීමට අවසර ඉල්ලා සිටීම.
    5. තමාගේ මළ සිරුර පවුලේ සොහොන් බිමේ භූමදානය කිරීමට අවසර ඉල්ලීම.

    මේ සියල්ලටම අවසර හිමි වීමෙන් පසු හෙන්රි පේද්‍රිස් තරුණ වීරයාට දඬුවම දීමට නියමිත ස්ථානයට ඔහු රැගෙන ඒමට කළු රෙදි කඩකින් ඔහුගේ දෑස් වැසීමට බන්ධනාගාර නිලධාරීන් සූදානම් වන විට එයට එරෙහි වූ පේද්‍රිස් තරුණයා තමාගේ දෑස් නොබඳින ලෙසත්, වෙඩි තබන අයුරු තමාට දැක ගැනීමට අවශ්‍ය බවත් පැවසූ නිසා එය වළකා ඔහුට පන්ජාබ් යුද බටයෙකු විසින් පළමු වෙනි වෙඩිල්ල තබා ඔහු ජීවිතය අහිමි කළේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයම කම්පාවට පත් කරමිනි. ඔහු වාඩි වී සිටි පුටුව ගලා ගිය ලේ දහරා සමග ගෙනැත් තැබුවේ ඞී. එස්., එෆ්. ආර්. ඇතුළු ජාතික වීරවරයන් සිරගත කළ කුටිය අසල ඔවුන්ට පෙනෙන අයුරිනි. නුඹලා දැඟලූවොත් නුඹලාටත් මෙම ඉරණම ලැබෙන බවට ඉඟියක් ලෙසය.

    තම පුතණුවන්ගේ බිහිසුණු මරණය පිළිබඳ කම්පාවට පත් වූ ඞී. ඞී. පේද්‍රිස් මහතා තම පුතණුවන්ට පින් පමුණුවමින් කොළඹ හැව්ලොක් ටවුමේ තමන්ට අයත් ඉඩමක ඉසිපතනාරාමය නමින් ගොඩනැගූ අභිනව විහාරය සසුනට පුදා තම පුතණුවන්ට නිවන් දක්නා තුරු මෙවන් ඉරණමක් අත් නොවේවායි ප‍්‍රාර්ථනා කළහ. ඊට අමතරව දෙමටගොඩ මල්ලිකාරාමය නමින් විහාරස්ථානයක්ද ඉදි කර සසුනට පුදා ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img