මෙරටට අනවසරයෙන් ගෙන්වා රාජසන්තක කර ඇති අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සතොසට ලබාදීමට රජය තීරණය කර තිබේ.
දිවයින පුරා ඇති සතොස ගබඩාවල සිදු කෙරෙන භාණ්ඩ මලු ඇසිරීමට රැකියා ලක්ෂය සඳහා බඳවාගත් පිරිස යොදා ගැනීමට ද තීරණය කර ඇත.
කොවිඩ් පාලනය සඳහා අද (21) රාත්‍රී 11.00 සිට සංචරණ සීමා පැණවීමේදී ජනතාවට සහ ආර්ථිකයට බලපෑමක් ඇති නොවීමට කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය සමග අද (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනපති උපදෙසින් තීරණ රැසකට එළැඹ තිබේ.
ඒ සඳහා ගතයුතු පහත ක්‍රියාමාර්ග පිළිබඳ ජනාධිපතිවරයා අමාත්‍යවරුන් සහ අදාළ නිලධාරීන් දැනුවත් කළේය.
සංචරණ සීමා පැනවෙන කාලය තුළ කර්මාන්ත ශාලා අඛණ්ඩව පවත්වාගෙන යාම, ඔසුසල් විවෘතව තැබීම, බේකරි නිෂ්පාදන අඛණ්ඩව සිදුකිරීම සහ බෙදාහැරීමට ක්‍රමවේදයන් සැකසීම, නැව් භාණ්ඩ බෙදාහැරීමේ ආයතන (Shipping Line) විවෘතව තැබීමට පියවර ගත යුතුය.
ප්‍රාදේශීයව ජංගම සේවා යොදා ගනිමින් කිසිදු හිඟයකින් තොරව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ජනතාවට බෙදාහැරීමට ද ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් දුන්නේය.
අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් අවශ්‍ය අවසරපත් නිකුත් කිරීමටත්, මාර්ග බාධක මෙහෙයුම් පහසු කිරීමට පොලීසිය සමග යුද හමුදාව යෙදවීමටත් තීරණය කෙරිණ.
ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබෙන දිනට පෙර දින භාණ්ඩ ප්‍රවාහනය සඳහා අවසර දීම, කෘෂිකාර්මික කටයුතු, සියලු නගරවල කුණු කසල ඉවත් කිරීම ඇතුළු දෛනික පවිත්‍රතා කටයුතු, මාර්ග සංවර්ධන සහ සෙසු ඉදිකිරීම් කරගෙන යාමට මෙම සංචරණ සීමා බාධාවක් කර නොගත යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
මැයි මස 25 සහ 28 දෙදින සංචරණ සීමා ඉවත් කෙරුණ ද ජනතාවට නිවසින් බැහැර යාමට අවසර හිමි වන්නේ අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීමට පමණි. විදේශ රටවල් කිහිපයකින් ඇණවුම් කර ඇති එන්නත් වර්ග කිහිපයක් ඉදිරි දිනවලදී මෙරටට ලැබීමට නියමිතය. එන්නත්කරණ වැඩපිළිවෙළ වේගවත් කර පවතින තත්ත්වය කඩිනමින් පාලනය කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
සංචරණ සීමා පවතින කාලසීමාවේදී ජනතා අවශ්‍යතා සපුරාලීමට ගෙන ඇති පියවර පිළිබඳ අමාත්‍යවරු ජනාධිපතිවරයා දැනුවත් කළහ.
වසංගතය පාලනය කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් නිසි පරිදි පිළිපැදීම ජනතාවගේ වගකීම සහ යුතුකම බව ජනාධිපතිවරයා සඳහන් කළේය.