
පාර්ලිමේන්තුව තුළදී මන්ත්‍රීවරුන් 9 දෙනෙකුගේ නොසන්සුන්කාරී හැසිරීම් සම්බන්ධයෙන් ගොනුකර ඇති පෙත්සම් හයක් සම්බන්ධයෙන් විභාග කිරීම සඳහා පාර්ලිමේන්තු ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව දින තුනක් අඛණ්ඩව රැස්වීමට නියමිතයි.
පාර්ලිමේන්තු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ උපදෙස් පරිදි ‘විශේෂ ප්‍රමුඛතාවක්’ සේ සළකා ඒ පිළිබඳ කරුණු විමසීමට මෙම කාරක සභාව සඳුදා, අඟහරුවාදා සහ බදාදා (නොවැ. 27, 28, 29) රැස්වීමට සැලසුම් කර තිබේ.
ඒ අනුව රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය අතර ඇති වූ සිද්ධිය, පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි සහකාර මහලේකම්වරයාට තර්ජනය කළ බව කියන සිද්ධිය, රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්නට එරෙහිව ගොනු කළ පැමිණිල්ල, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට එරෙහිව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගොනු කළ පැමිණිල්ල, ප්‍රේමදාස, නිශාන්ත සහ නලින් බණ්ඩාර යන අයට එරෙහිව ගොනු කර ඇති පැමිණිල්ල සමඟ අමාත්‍ය අලි සබ්රිට එරෙහිව ගොනු කර ඇති පැමිණිල්ල ද මෙහිදී සලකා බැලීමට නියමිතයි.
2024 අයවැය ලේඛනය අවසන් කිරීමට පෙර ඉහත සඳහන් සිද්ධීන් පිළිබඳ පරීක්ෂණ කඩිනම් කරන ලෙසත්, ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් කථානායකවරයා විසින් කාරක සභාවට දැනුම් දෙන ලදී.