පසුගිය මාසයේ පවත්වා ඊයේ ප්‍රතිඵල නිකුත් වූ 5 ශ්‍රේණිය මෙවර ශිෂ්‍යත්ව විභාගය අසීරු බවට ඇතැමුන් පැවසුවද සිසුදරුවන් සාර්ථකව විභාගයට මුහුණ දී ඇති බවට ප්‍රතිඵලවලින් පෙනී යන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පවසයි.
හෙතෙම පාර්ලිමේන්තුවේදී අද (17) පැවසුවේ අභියෝග රැසක් මධ්‍යයේ 5 ශිෂ්‍යත්ව විභාගය පවත්වා ප්‍රතිඵල මසක් ඇතුළත නිකුත් කිරීමට ලැබීම විශාල ජයග්‍රහණයක් බවය. අමාත්‍යවරයා එලෙස ප්‍රකාශ කරද්දී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු පොදුවේ අත්පොළසන් දෙනු දැකගත හැකිවිය.
මේ අතර පසුගිය දෙවසර හා සැසදීමේ දී මෙවර ශිෂ්‍යත්වය තුළින් දරුවන්ගේ සාධන මට්ටම ඉහළගොස් ඇතැයි විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.
කඩඉම් ලකුණ ඉහළ ගොස් ඇත්තේ, දරුවන්ගේ සාධනය ඉහළ යෑම නිසා බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
ප්‍රතිඵලය පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි දරුවෙක් සිටී නම් විදුහල්පතිවරයා විසින් ඒ පිළිබඳ අභියාචනා ඉදිරිපත් කළ හැකිය.
මෙවර අභියාචනා භාරගැනීමේ යම් වෙනසක් සිදුකර ඇතැයි ද හෙතෙම කියාසිටී.
අභියාචනා භාරගැනීම නොවැම්බර් මස 27 වනදා සිට දෙසැම්බර් මස 4 වනදා දක්වා මාර්ගගත පද්ධතියක් ඔස්සේ සිදුකිරීමට නියමිත ය.
ඒ අනුව අභියාචනා සලකා බලා ඉතා ඉක්මනින් ප්‍රතිඵල නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ද විභාග කොමසාරිස්වරයා පැවසීය.
මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් සියයට 77 ඉක්මවූ පිරිසක් ලකුණු 70 සීමාව ඉක්මවා යාමට සමත්ව තිබේ.
විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් සිසුන් 258,871 දෙනෙකු එම සීමාව පසුකර යාමට සමත්ව ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 77.75% කි.
එමෙන්ම ලකුණු 100 ඉක්මවූ පිරිස 150,017ක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස 45.06%ක් බව විභාග කොමසාරිස්වරයා පැවසුවේය.
මෙවර ශිෂ්‍යත්ව විභාගයේ දී කඩඉම් ලකුණ ඉක්මවූ ප්‍රතිශතය 15.22%ක් වේ.
මෙවර විභාගය සඳහා විශේෂ අවශ්‍යතා සහිත දරුවන් 849 දෙනෙකු පෙනී සිට ඇත.
ඉන් 07 දෙනෙකු ද කඩඉම් ලකුණු සීමාව ඉක්මවා යාමට සමත්ව ඇති බව දවිභාග කොමසාරිස්වරයා කීය.