Home උණුසුම් පුවත් ‘ආර්ථික අර්බුදයට ගෝඨා-මහින්ද-බැසිල් ඇතුළු පිරිසක් වගකිවයුතුයි’ -ශ්‍රේෂ්ඨාධිකරණය

‘ආර්ථික අර්බුදයට ගෝඨා-මහින්ද-බැසිල් ඇතුළු පිරිසක් වගකිවයුතුයි’ -ශ්‍රේෂ්ඨාධිකරණය

‘ආර්ථික අර්බුදයට ගෝඨා-මහින්ද-බැසිල් ඇතුළු පිරිසක් වගකිවයුතුයි’ -ශ්‍රේෂ්ඨාධිකරණය

වත්මන් ආර්ථික අර්බුදය ඇතිවීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු නම් කරන ලද පිරිසක් වගකිවයුතු බවටත් එමගින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇති බවටත් ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කර තිබේ.

ඒ අනුව එම තීන්දුව මගින් ප්‍රකාශ කළ සෙසු අය වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරුන් අජිත් නිවාඩ් කබ්රාල්, මහාචාර්ය ඩබ්ලිව්.ඩී ලක්ෂ්මන්, මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්.ආර් ආටිගල, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ සාමාජික සමන්ත කුමාරසිංහ, හිටපු ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර යන අයයි.

වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුත්තන් පිළිබඳ සුදුසු පියවර ගන්නා ලෙස ඉල්ලා ගොනු කර තිබූ අයිතිවාසිකම් පෙත්සම් දෙකක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත්කළේය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, විජිත් මලල්ගොඩ සහ මෘර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.

නඩු තීන්දුව මගින් වගඋත්තරකරුවන්ට නියෝග කෙරුණේ මෙම නඩුවේ ගාස්තු වශයෙන් රුපියල් 150,000 බැගින් පෙත්සම්කරුවන්ට ගෙවන ලෙස ය.

2020 සිට මෙවැනි ආකාරයක ආර්ථික අර්බුදයක් නිර්මාණය වී ඇති බව දැන දැනත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු බලධාරීන් ඒ සම්බන්ධයෙන් සුදුසු පියවර ගැනීමට අපොහොසත් වී ඇති බවද ඒ සම්බන්ධයෙන් ඔවුන් වගකිව යුතු බවද තීන්දුවේ සඳහන් ය.

මෙම ආර්ථික අවපාතය හේතුවෙන් ඇතිවූ තත්ත්වය මත ජනතාවගේ විශ්වාසය සහ ජනතා භාරය උල්ලංඝනය කර ඇති බවත් එමගින් සමස්ත ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවත් තීන්දුවේ දැක්වේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමේදී වගඋත්තරකරුවන් මේ සම්බන්ධයෙන් වගකිවයුතු වුවත් ඔවුනට වන්දි මුදල් නියම කිරීම සිදු නොකරන බවද ඒ වෙනුවට පෙත්සම්කරුවන්ට රුපියල් එක්ලක්ෂ පනස් දහස බැගින් නඩු ගාස්තු පමණක් ගෙවීමට නියෝගයක් නිකුත් කරන බවද තීන්දුවේ වැඩිදුරටත් සඳහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here