කිසිදු ජාතියක් සූදානම්ව නොසිටි, පෙර නොවූ විරු අභියෝගයක් නිර්මණය වී ඇති මෙහොතක සියලු ජාතීන් අවබෝධයෙන් සහ විශ්වාසයෙන් එක් විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
අද (20) පෙරවරුවේ ජපානයේ ටෝකියෝ නුවරදී ආරම්භ කෙරුණු “ආසියාවේ අනාගතය” (The Future of Asia) පිළිබඳ 26 වන ජාත්‍යන්තර සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
ජපානයේ “නික්කෙයි” (Nikkei) පුවත්පත 1995 වසරේ සිට වාර්ෂිකව මෙම සමුළුව සංවිධානය කරයි. “පශ්චාත් – කොවිඩ් යුගය හැඩගැස්වීම: ගෝලිය ප්‍රතිසාධනයේ ආසියාවේ භූමිකාව” (Shaping the post – COVID era : Asia’s role in the global recovery) යන්න මෙවර එහි තේමාව වී තිබේ. ආසියානු පැසිෆික් කාලාපයේ දේශපාලන, ආර්ථික, ශාස්ත්‍රීය ගැටලු සහ ලෝකය තුළ ආසියාවේ කාර්ය භාරය පිළිබඳව නිදහස් අදහස් ඉදිරිපත් කිරීමට එකතු වන ජාත්‍යන්තර සමුළුවක් ලෙස මෙය සැලකේ.
කොවිඩ් වසංගතය සහ එහි ප්‍රතිවිපාක සැලකිල්ලට ගනිමින් ආසියානු කලාපයේ රටවල් අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ සබඳතා වඩා ශක්තිමත් කර ගැනීමේ අවශ්‍යතාව දැඩිව මතුව ඇතැයි ද හෙතෙම එහිදී අවධාරණය කළේය.
ආසියාව ප්‍රමුඛව ගෝලීය වශයෙන් ද ජාතීන් අතර සබඳතා පුළුල් කර ගත යුතුය. ලෝකයම මුහුණ දී ඇති කොවිඩ් වසංගතය හේතුවෙන් ජීවිත විශාල ප්‍රමාණයක් අහිමි වෙමින් තිබෙන අතර ලොව පුරා ආර්ථික ක්‍රියාකාරකම්වලට ද විනාශකාරී බලපෑමක් එල්ල කර ඇතැයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.
“වසංගතය ජාතික සීමාවන් නොසලකයි. වෛරසය ලෝකයේ ඕනෑම තැනක පාලනයකින් තොරව පැතිරීමට ඉඩ සැලසුව හොත් වෙනත් තැන්වල එන්නත්කරණය තුළින් දැනටමත් ලබා ඇති ප්‍රගතියට තර්ජනයක් සහ මාරාන්තික බලපෑමක් එල්ල විය හැකිය. එබැවින් වේගය ඉතා වැදගත් වේ. නිෂ්පාදන ධාරිතාව සැලකිය යුතු ලෙස ඉහළ නැංවිය යුතු අතර, කෙටි කාලයක් තුළ ගෝලීයව එන්නත් ලබා ගත හැකි යාන්ත්‍රණයක් නිර්මාණය කර සැපයුම් කඩිනමින් ජයගත යුතු බව” ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
වෙළෙඳාම සහ ආයෝජන සම්බන්ධයෙන් සියලු රටවල් සමග සහ විශේෂයෙන් ආසියානු කලාපයේ පාර්ශ්වකාර රටවල් සමග ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකාව දකුණු ආසියානු රටක් ලෙස චීනය සහ ඉන්දියාව සමග ඇති සබඳතාවය සමබර කරන්නේ කෙසේදැයි සැසියේ දී යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේ “ශ්‍රී ලංකාව ඉන්දියාව හා චීනය සමග සියවස් ගණනාවක් පුරා පවතින ඓතිහාසික සබඳතාවක් පවත්වාගෙන යයි. චීනය සමග අපගේ සහයෝගීතාව, සමස්ත ආර්ථික හා වාණිජ ගමන් පථයන්ට සමානව පිහිටා ඇත.
වෙනත් බොහෝ රටවල් මෙන්ම චීනය ද ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආයෝජන හවුල්කරුවෙකි. සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස සංවර්ධන අභිලාෂයන් වේගවත් කර ගැනීම සහ ජනතාවගේ ජීවනෝපායන් වැඩිදියුණු කිරීමට සියලු හවුල්කාර ජාතීන්ගේ සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි. ආසියානු රටවල් හා අනෙකුත් රටවල් සමග සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට රජය උනන්දුවෙන් කටයුතු කිරීම අපේක්ෂාවයි.
ලෝක බල එදිරිවාදිකම් සහ කලාපීය බල ගතිකතාවයන් පිළිබඳව අපි දැනුවත්භාවයෙන් පසු වෙමු. කෙසේ වෙතත් අප අනුගමනය කරන්නේ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියකි. ඉන්දියාව අපගේ සමීපතම අසල්වැසියා සහ දිගුකාලීන මිතුරෙකු ලෙස සලකන අතර, ඔවුන්ගේ ආරක්ෂක අවශ්‍යතා සහ සංවේදීතාවන් අපි තේරුම් ගනිමු. සියලු රටවල යහපත උදෙසා, ඉන්දියානු සාගරයේ සුරක්ෂිතතාවය සහතික කිරීමට ඉන්දියාව සහ සියලුම ප්‍රාදේශීය හවුල්කරුවන් සමග සමීපව කටයුතු කරන බව” ද ජනාධිපතිවරයා පැවසීය.
ඉන්දීය සාගරයේ සුවිශේෂී පිහිටිමකට උරුමකම් කියන ශ්‍රී ලංකාව පිළිබඳ ජපානයේ ව්‍යාපාරික ප්‍රජාව තුළ පවතින අවබෝධය තවදුරටත් වැඩි දියුණු කිරීමට සමුළුව සඳහා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගීත්වය බෙහෙවින් ඉවහල් වනු ඇතැයි “නික්කෙයි” (Nikkei) පුවත්පත විශ්වාසය පළ කරයි.
ජපාන අගමැති යොෂිහිඩේ ෂුගා, පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්, මැලේසියාවේ අගමැති මුහයීඩින් යාසන්, වියට්නාම අගමැති පාහ්ම් මිං චින්, තායිලන්ත අගමැති ප්‍රයුත් චාන් ඕ චා, කාම්බොජයේ අගමැති හන් සෙන්, ලාඕ ජනරජයේ ජනාධිපති තොංලූන් සිසොලිත්, නේපාල අගමැති කේ.පී. ශර්මා යන රාජ්‍ය නායකයන් දෙදිනක් පුරා පැවැත්වෙන සමුළුව ඇමතීමට නියමිතය.
කොවිඩ් වෛරසය ආසියාවේ පැවැත්ම හා ස්වභාවය වෙනස් කරමින් පවතින බව සමුළු සංවිධායකයෝ පෙන්වා දෙති. “සාමය හා ස්ථාවරත්වය” සහ “විවිධත්වය” යන මූලධර්ම ආරක්ෂා කරමින් ආසියානු නායකයින්ට පශ්චාත් කොවිඩ් යුගයකට පිවිසීමට මඟ පැදිය හැකිද? අනාගත වසංගත තත්ත්වයන් ජය ගැනීමට හා ජාත්‍යන්තර කාරණා සම්බන්ධයෙන් සහයෝගයෙන් කටයුතු කිරීමට ඔවුන්ට හැකිවේද යන කාරණ පිළිබඳව සාකච්ඡා කිරීමටද “නික්කෙයි” (Nikkei) පුවත්පත අපේක්ෂා කරයි.