ඊශ්‍රායලයේ සේවය කරමින් සිටියදී පසුගියදා හමාස් සටන්කාමීන් එල්ල කරන ලද ප්‍රහාරයෙන් දිවි අහිමි වූ ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවක වන අනුලා රත්නායක ජයතිලකගේ දේහය අද (24) හඳුනාගත් බව එරට සිටින ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසයි.
දේහය හඳුනා ගැනීමට පවුලේ සාමාජිකයන් වීඩියෝ මාර්ගයෙන් එක්වූ බවද තානාපතිවරයා කියා සිටියේය.
පවූලේ සාමාජිකයන් විසින් දේහය හදුනාගත් බැවින් එය ශ්‍රී ලංකාව වෙත එවීමට කටයුතු කරන බව හෙතෙම කීය.
ඇය වෙනුවෙන් පවත්වන මතක වස්ත්‍ර පූජාව හා ආගමික වතාවත් 2013/10/25 වැනි දින පෙරවරු 11. 00 ට එරට Amal 44, Petach Tikva ස්ථානයේ ඇති මල් ශාලාවේ දී සිදුකෙරේ.
තානාපති කාර්යාලයේ නිලධාරීන් ද ඊශ්‍රායල් විදේශ කටයුතු අමාත්යංශය හා PIBA ආයතනයේ නිලධාරීන් ද මේ අවස්ථාවට සහභාගී වනු ඇත.
අනුලා රත්නායක මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා කැමති ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන් හට ඒ සඳහා සහභාගී වන මෙන් තානාපතිවරයා දන්වා සිටී.
මේ අතර තමන් කරන ලද ඉල්ලීමක් අනුව දැනට වීසා සහිතව ඊශ්‍රායලයට පැමිණ එහෙත් වීසා අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකාවට නොගොස් සිටින ලාංකිකයන්ගේ වීසා බලපත් අලුත් කිරීමටත්, ඔවුන්ට කෘෂිකර්ම අංශයේ රැකියා ලබාදීමටත් එරට බලධාරීන් එකඟවූ බව තානාපතිවරයා සඳහන් කළේය.
ඊශ්‍රායලයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ආහාර නිෂ්පාදනය වැඩිකිරීම, හාර ගබඩා කිරීම හා ආහාර සුරක්ෂිතභාවය සඳහා ගන්නා පියවරක් වශයෙන් කෘෂිකර්ම අංශයේ රැකියා විශාල ප්‍රමාණයක් ඇතිවී තිබේ.
ඊට අමතරව දැනට වීසා නොමැතිව සිටින සාත්තු සේවක සේවිකාවන් හා අනෙකුත් අංශවල සිටින ශ්‍රී ලාංකිකයන් සදහා ද වීසා ලබාදෙන ලෙස කළ ඉල්ලීම අනුව එලෙස සිටින පිරිස පිළිබඳ තොරතුරු ඉල්ලා සිටි බැවින් අදාළ තොරතුරු එක්රැස් කිරීමට අද සහ හෙට (ඔක්තෝම්බර් 24 හා 25 දිනවල) තානාපති කාර්යාලය කටයුතු කරගෙන යන බව තානාපතිවරයා පැවසීය.