තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කුඩු වැටලීමකට ගිය STF දෙන්නෙකුට ගැසූ කුඩු පවුලක්ම කොටු

    කුඩු වැටලීමකට ගිය STF දෙන්නෙකුට ගැසූ කුඩු පවුලක්ම කොටු

    රඹුක්කන, තිස්සමල්පොල ප්‍රදේශයේ කාලයක් තිස්සේ ඉතා සූක්ෂමව පවත්වගෙන ගිය හෙරොයින් අලෙවි කිරීමේ තිප්පොලක් වැටලීමට ගිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් දෙදෙනෙකු අතින්පයින් හා පොලුවලින් පහරදී පිහියකින් කපා තුවාල කළ ජාවාරම්කරු ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයින් සිව් දෙනෙක් රඹුක්තන පොලීසියේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

    ලංකා නාත නමින් හදුන්වන එම ප්‍රදේශයේ කුප්‍රකට මත්කුඩු ජාවාරම්කරු සමඟ ඔහුගේ මවත්, නැගණියත්, බාල සහෝදරයාත් අත්අඩංගුවට ගෙන ඇති අය අතර සිටින බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

    නැගණිය 34 හැවිරිදි වියේ පසුවන පාසල් ගුරුවරියකි. බාල සහෝදරයා 25 වියැති සබරගමුව සරසවියේ අධ්‍යාපනය ලබන සිසුවෙක් බව පොලීසිය කියයි. මව අවුරුදු 59ක් වයසැති තැනැත්තියකි. ඇය සමෘද්ධි නිලධාරිනියක් බව කියයි.

    ලංකා නාත නැමැති ප්‍රධාන සැකකරු අවුරුදු 34ක් වයසැති අයෙක් බවත් ඔහුව කොටුකර ගැනීමට මෙහෙයුමක් ඊයේ දියත්කර ඇත්තේ විශේෂ කාර්ය බලකායේ නාරම්බැද්ද කඳවුරේ පොලිස් පරීක්ෂක වෙදගේ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසිනි.

    ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් දෙදෙනෙක් උපයාදූතයන් ලෙස යොදවා මෙම ජාවාරම්කරුගේ නිවසට යවා ඇත්තේ මත්කුඩු මිලදී ගැනීමටය. එහිදී මෙම නිලධාරීන්ට ඔහු මත්කුඩු ලබාදෙන අවස්ථාවේදී එම නිලධාරීන් දෙදෙනා පෙර සැළසුමකට අනුව ඔවුන්ට මත්කුඩු අලෙවි කළ ලංකා නාත නැමැති ජාවාරම්කරු අල්ලා ඔහුගේ අතට මාංචු දැමීමට උත්සහා දරා ඇත. එහිදී ඔහු කෑ ගසා ඇති බවත් එවිට පවුලේ සාමාජිකයින් පොලු මුගුරු රැගෙන පැමිණ විශේෂ කාර්ය බලකා නිලධාරීන් දෙදෙනාව නිවස තුළට ඇදගෙන ගොස් පහරදී ඇති බව පොලීසිය කියයි. මෙම නිලධාරීන් දෙදෙනාව පිහියෙන් කපා ඇත්තේ ලංකා නාත නැමැති මත්කුඩු ජාවාරම්කරු බව පොලීසිය කියයි.

    පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් දෙදෙනා මෙහිදී බරපතල තුවාල ලබා ඇති බැවින් ප්‍රතිකාර සඳහා කෑගල්ල රෝහලට ඇතුලත්කර ඇත. නිලධාරීන් දෙදෙනාගේ ජීවිත බේරාගෙන ඇත්තේ නාරම්බැද්ද කදවුරේ අතිරේක භට කණ්ඩායමක් එහි පැමිණීම හේතුවෙනි. අනතුරුව රඹුක්කන පොලීසිය පැමිණ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබේ.

    මෙසේ ජාවාරම්කරුගේ මුළු පවුලම අත්අඩංගුවට ගැනීම ගැන ගම්වැසියන් ඒ ගැන සතුටු වෙමින් පොලීසියට සිය ස්තූතිය පලකර ඇති බවද පොලිස් තොරතුරු අනාවරණය කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img