මීගමුවේ ලැගුම්හලක පවත්වාගෙන ගිය සූදු පොලක් වටලා අත්අඩංගුවටගත් සැකකරුවන් සතුව තිබුණු රුපියල් ලක්ෂ 08කට ආසන්න මුදලක් වංචනික ලෙස අස්ථානගත කිරීමක් සම්බන්ධයෙන් මීගමුව පොලීසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපවරයාගේ වැඩ තහනම්කර ඇත.
මීගමුව කුඩාපාඩුව, පීටර් මෙන්ඩිස් පාරේ පිහිටි ලැගුම් හලක් තුළ පවත්වාගෙන ගිය මෙම සූදු පොල උප පොලිස් පරීක්ෂකවරයෙක් වන දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් වටලා ඇත්තේ පසුගිය 01 වෙනිදාය. එහිදී බූරු ගසමින් සිටි සැකකරුවන් 06 දෙනෙක් රුපියල් 440,000ක මුදලක්ද සමගින් අත්අඩංගුවට ගෙන ඇත. එහෙත් එම මුදල්වලින් පොලිස්පොත්වල සටහන් තබා ඇත්තේ රුපියල් 96,500ක මුදලක් බූරු පොලේ තිබී හමුවූ බව පමණි. ඉතිරි 343,500ක මුදල දූෂණ මර්දන ස්ථානාධිපතිවරයා විසින් වංචනික ලෙස අස්ථානගතකර ඇත.
ඒ හැරුණු කොට මෙම බූරු පොලේ සිටියදී රුපියල් 420,000 මුදලක් සමඟ අත්අඩංගුවටගත් පුද්ගලයෙකුව මෙම නිලධාරියා විසින් පොලිස් ස්ථානයට ඉදිරිපත්කර මුදා හැර ඇත්තේ එම මුදල්ද අස්ථානගත කරමිනි. ඒ ගැන ලද පැමිණිල්ලකට අනුව මූලික විමර්ශනයක් පවත්වා දූෂණ මර්දන ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම කර ඇති බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.