තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මරඳමඩු මාතාව ඉදිරියේ ජනපති සඵත කළ දේ...

    මරඳමඩු මාතාව ඉදිරියේ ජනපති සඵත කළ දේ…

    • ‘මන්නාරම බලශක්ති කේන්ද්‍රස්ථානයක් කරනවා’
    • සැප්තැම්බර් 15 වන දා සිට තලෛයිමන්නාරම – කොළඹ නගරාන්තර සීග්‍රගාමී දුම්රියක්

    සැප්තැම්බර් 15 වනදා සිට තලෛයිමන්නාරම සිට කොළඹ දක්වා නගරාන්තර සීග්‍රගාමී දුම්රිය සේවාවක් ආරම්භ කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    මන්නාරම බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගන්නා බවත්, ජනාධිපතිවරයා සඳහන් කළේ මන්නාරම මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට අද (15) සහභාගී වෙමිනි.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර මඩු මංගල්‍යයේ උදෑසන දේව මෙහෙයට එක්වීම ද විශේෂත්වයකි.

    මරඳමඩු මාතා පිළිරුවට ඔටුනු පළඳවා 2024 වසරට, වසර සියයක් සම්පූර්ණ වන අතර ඒ වෙනුවෙන් පවත්වනු ලබන දේව මෙහෙයන් වසර පුරාම පැවැත්වීමට දේවස්ථාන පාලක මණ්ඩලය තීරණය කර තිබේ.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.
    “මඩු මාතාව වැඩ සිටින මෙම මන්නාරම ප්‍රදේශය පුනර්ජනනීය බලශක්තිය බහුලව ඇති ප්‍රදේශයක්. මෙහි ඇති සූර්ය ශක්තිය, සුළං ශක්තිය සහ හරිත ශක්තිය සමඟ මන්නාරම දිස්ත්‍රික්කය බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස ගොඩනැඟිය හැකියි. එසේම පූනරීන් බලශක්ති නගරයක් බවට පත් කිරීමටත් අප සැලසුම් කර තිබෙනවා. මෙම සෑම සංවර්ධන කටයුත්තක්ම සිදු කරන්නෙ මේ ශුද්ධ භූමිය හා වනාන්තර ආරක්ෂා වන අන්දමින් බව මම කියන්න කැමතියි. එමෙන්ම මෙම ප්‍රදේශවල සංවර්ධන කටයුතුවලදී මෙහි පියතුමන්ලාගේ අවවාද අනුශාසනා ලබාගන්නා ලෙස මම නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා .

    ලබන සැප්තැම්බර් 15වනදා සිට තලෛයිමන්නාරම සිට කොළඹ දක්වා නගරාන්තර සීග්‍රගාමී දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. එම නගරාන්තර දුම්රිය සේවාව ආරම්භ කරන්නේ චාර්ල්ස් නිර්මලනාදන් මන්ත්‍රීතුමාගේ ඉල්ලීමක් අනුවයි. සෙල්වම් අඩෙක්කලනාදන් මංත්‍රීතුමාගේ ඉල්ලීමකට අනුව වව්නියාවේ සීනි කර්මාන්ත ශාලාවක් ඇති කිරීමට ද අප පියවර ගෙන තිබෙනවා . ඒ සඳහා මේ වන විට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමිව තිබෙනවා. මෙලෙස මෙම ප්‍රදේශවල සීග්‍ර දියුණුවක් ඇති කිරීමට සැලසුම් කර තිබෙනවා. මේ සියලු කටයුතුවලින් අප බලාපොරොත්තු වන්නේ 2048 වන විට දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමයි. ඒ සඳහා ඔබ සියලුදෙනාගේ සහාය මම බලාපොරොත්තු වෙනවා.”

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img