පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් වන්දි මුදල් ගෙවීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ හිටපු ආරක්ෂක අංශ ප්‍රධානීන්ට ලබාදී තිබු කාලය හෙටින් (12) අවසන් වෙයි.
හිටපු ජනාධිපතිවරයා ඔහුට ගෙවීමට නියම වූ රුපියල් මිලියන 100 න් අද උදෑසන වනවිට රුපියල් මිලියන 15ක් ගෙවා තිබී ඇත.
හිටපු ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක අංශ ප්‍රධානීන්ට ගෙවීමට නියම වූ සමස්ත වන්දි මුදල රුපියල් මිලියන 311 කි.
ඉන්, හානි පූර්ණ කාර්යාලයට ලැබී ඇත්තේ රුපියල් මිලියන 28 ක් පමණි.
මෛත්‍රිපාල සිරිසේන මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ ඉතිරි වන්දි මුදල් රුපියල් ලක්ෂ 85 බැගින් වාරික 10 කින් 2024 වසරේ ජුනි මස 30 වනදා සිට 2033 වසරේ ජුනි මස 30 වන දා දක්වා කාලය තුළ වාර්ෂිකව ගෙවා අවසන් කිරීමට අවසර දෙන ලෙස ය.
තමාට හිටපු ජනාධිපතිවරයා වශයෙන් විශ්‍රාම වැටුප් වශයෙන් මාසිකව රුපියල් 97500/- ක්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් දීමනා හැර රුපියල් 54,285 ක මුදලක් ද ආදායම වශයෙන් ලැබෙන බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කිරීමෙන් අනතුරුව මෙම වන්දි මුදල් ගෙවීමට නියෝග කෙරුණේ ඉකුත් ජනවාරි මස 12 වනදා ය.
ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12කට අදාළව දුන් තීන්දුව ප්‍රකාශයට පත්කරමිනි.
ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රුපියල් මිලියන 100 ක් ද, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන විසින් රුපියල් මිලියන 75 බැගින් ද, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු විසින් රුපියල් මිලියන 50 ක් ද, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් විසින් රුපියල් මිලියන 10ක් ද වන්දි වශයෙන් ගෙවිය යුතු බවට තීන්දුව ලබාදී තිබුණි.