Home උණුසුම් පුවත් සිව් දෙනෙකුට වෙඩි තබා හැංගුණු සැරයන් උසාවියට භාරවෙයි

සිව් දෙනෙකුට වෙඩි තබා හැංගුණු සැරයන් උසාවියට භාරවෙයි

0
සිව් දෙනෙකුට වෙඩි තබා හැංගුණු සැරයන් උසාවියට භාරවෙයි

වලස්මුල්ල යහල්මුල්ල ප්‍රදේශයට ජලය ලබාදීම සඳහා ආරම්භකර ඇති ජල ව්‍යාපෘතියක නල එලීමක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මුල්කරගෙන සිව් දෙනෙකුට වෙඩි තබා පළාගොස් සිටි පොලිස් සැරයන්වරයා සති දෙකක් සැඟවී සිටීමෙන් අනතුරුව නීතීඥවරයෙක් මාර්ගයෙන් වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට භාරවී තිබේ.

මෙහිදී ඔහුව ලබන 20 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝගකර ඇත.

බෙලිඅත්ත පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිටින නිලධාරියෙක් වන ඔහු ලාදුරු රෝගය වැලදීම හේතුවෙන් පසුගිය වසරේ නොවැම්බර් 24 වෙනිදා සිට වසරක කාලයක් අසනීප නිවාඩු ලබා සිටියෙකි.

මෙම වෙඩි තැබීම සිදුවන්නේ පසුගිය ජුනි 21 වෙනිදාය. ඒ ඔහුගේ නිවස ඉදිරිපිටින් ජල නල එලීමක් සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් සමඟ ගැටුමක් ඇතිකර ගනිමිනි.

මෙම වෙඩි තැබීම ඔහු විසින් කර ඇත්තේ යහල්මුල්ල ගනේගොඩ බෝධිය අසලදීය. මෙහිදී තුවාල ලබා ඇත්තේද එම ප්‍රදේශයේම පදිංචි සිව් දෙනෙකි. ඒ අය අතර අවුරුදු 06ක් වයසැති දියණියක් ඇතුළු කාන්තාවන් දෙදෙනෙක්ද සිටි බව පොලීසිය සඳහන් කළේය. මෙම වෙඩි තැබීමෙන් පසු ඔහුගේ නිවසට කිසියම් පිරිසක් විසින් ගිනි තබා හානිකර තිබුණි.

අධිකරණයට මෙම සැරයන්වරයා භාරවී ඇත්තේද කොළඹ සිට පැමිණි නීතීඥවරයෙකුගේ සහය ඇතිවය. මෙහිදී පොලීසිය අධිකරණයෙන් ඉල්ලීමක්කර ඇත්තේ වෙඩි තැබූ ගිනි අවිය සොයා ගැනීමට මෙම සැකකාර සැරයන්වරයාව පැය 48ක් රදවාගෙන විමර්ශන පැවැත්වීමට නියෝගයක් ලබාදෙන ලෙසය. එම ඉල්ලීම මහේස්ත්‍රාත් විසින් ප්‍රතික්ෂේප කරමින් ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කළ බව පොලීසිය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here