පැහැරගැනීමක් සම්බන්ධයෙන් වූ නඩුවක ප්‍රධාන සාක්ෂිකරුවෙකුට දික්වැල්ල දෙමටපිටිය ප්‍රදේශයේදී අද උදෑසන මෝටර් රථයකින් පැමිණි දෙදෙනෙක් විසින් ටී-56 අවියකින් වෙඩි තබා පළාගොස් ඇත.
වෙඩි වර්ෂාවක් ඔහුට එල්ලකර ඇති බවත් වෙඩි වැදුණු ඔහු මාතර රෝහලට ඇතුලත්කර ඇති බවත් පොලීසිය කියයි.
වෙඩි වැදීමකට ලක්වූ පුද්ගලයා සිය බිරිඳගෙන් වෙන්වී වෙනම ජීවත්වන බව සදහන්ය. ඊට මුල්වී ඇත්තේ බිරිඳගේ අනියම් සම්බන්ධයක් බව පොලීසිය කියයි.
මෙම අනියම් සම්බන්ධය මුල්කරගෙන දෙදෙනා අතර පවුල් ආරවුල් පැන නැගී තිබී ඇති බවත් එය දුරදිග යාමේ ප්‍රතිඵලයක් ලෙස මෙම පුද්ගලයාව කලකට පෙර ඇගේ අනියම් සැමියා විසින් පැහැරගෙන ගොස් පහරදී තිබුණු බවත් පොලීසිය කියයි.
එම පැහැර ගැනීම සම්බන්ධයෙන් බෙලිඅත්තේ පදිංචි අනියම් සැමියා ඇතුළු කිහිප දෙනෙක් පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත. දේශපාලන හයි හත්තියද ඇති එම පුද්ගලයාව පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත්තේද දැඩි පරීශ්‍රමයක් දරාය.
එම පැහැරගැනීමෙන් පසු වෙඩි ප්‍රහාරයට ලක්වූ සැමියා සිය මහ ගෙදර පදිංචිව සිටින බවත් ඔහුගේ නිවසේ බිරිඳ හා දරුවන් පදිංචිව සිටින බවත් පොලීසිය කියයි.
බිරිඳ හා සැමියා නිවාස දෙකක ජීවත්වූවත් වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා දෛනිකව බිරිඳ පදිංචිව සිටින නිවස අසලට පැමිණ දරුවන්ව පාසල් රැගෙන යාම පුරුද්දක් කරගෙන සිටින බව පොලීසිය කියයි.
අද ඔහු වෙඩි ප්‍රහාරයට ලක්වන්නේද දරුවන් පාසල් රැගෙන යාමට බිරිඳ පදිංචිව සිටින නිවස අසලට යතුරුපැදියෙන් පැමිණ සිටියදීය.
වෙඩික්කරුවන් පැමිණ ඇත්තේ කළු පැහැති මෝටර් රථයක නැගී බවද පොලීසිය කියයි.