තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"කොවිඩ් පාලනය වහාම ජනපති සහ කැබිනට්ටුව අතට ගන්න" - රනිල් ඉල්ලයි

    “කොවිඩ් පාලනය වහාම ජනපති සහ කැබිනට්ටුව අතට ගන්න” – රනිල් ඉල්ලයි

    වත්මන් කොවිඩ් වසංගත තත්වය පාලනය කිරීමට කොවිඩ් පාලන කමිටු අසාර්ථක වී ඇති බවත් වහාම කොවිඩ් පාලනයේ සම්පූර්ණ බලය ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය අතට ගන්නා ලෙසත් හිටපු අගමැති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි.

    මේ පිළිබඳව වහාම ක්‍රියා නොකළහොත් මෙරට තවත් ජීවිත විශාල සංඛ්‍යාවක් කොවිඩ් වසංගතයට ගොදුරු වනු ඇති ගෝලීය කොවිඩ් පර්‍යේෂණ ආයතන ද අනතුරු අඟවා ඇති බවට හෙතෙම අවධාරණය කරයි.

    විශේෂ ප්‍රකාශයක් කරමින් වැඩිදුරටත් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා,

    “කොවිඩ් -19 රෝගයේ උග්‍ර තත්ත්වයකට අපි අද මුහුණ දීලා තියෙනවා. ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව කඩාවැටෙනවා. කොවිඩ් -19 ව්‍යසනය දැන් ලංකාව පුරාම පැතිරෙනවා. එන්න‍තේ හිඟයක් තියෙනවා. ඔක්සිජන් හිඟයක් තියෙනවා. වෙන්ටිලේටර් හිඟයක් තියෙනවා. රෝහල්වල ඇඳන් හිඟයක් තියෙනවා. රෝහල් පිරිලා. දිනෙන් දින මේ කොවිඩ් රෝගය වැඩිවෙනවා. දැන් අපි ඉන්නේ තීරණාත්මක අවස්ථාවක. අපේ වෛද්‍ය උපදෙස්, සෞඛ්‍ය උපදෙස් අනුව දැන් තීරණ ගන්නේ නැතිනම් අපි අමාරුවේ වැටෙනවා.

    වොෂිංටන් විශ්වවිද්‍යාලයේ Institute of Health Metrics and Evaluation (IHME) ආයතනයනිකුත් කළ නවතම වාර්තාවට අනුව අපේ රටත්,රෝගීන්ගේ සීඝ්‍ර වර්ධනයේ උපරිමයකට එන්න පුළුවන්. ඒ වගේම දවසකට සියයකට වඩා මියයා හැකි තත්ත්වයක් ජූනි, ජූලි මාසය වෙන කොට එන්න පුළුවන්. ඒ නිසා මේ තීරණාත්මක අවස්ථාවේ අපි ඔක්කොම එකට එකතුවෙලා ක්‍රියාකළ යුතු වෙනවා.

    මේක ආණ්ඩුවේ නම බේරාගන්න සටනක් නොවෙයි. ඒ වගේම මේක දේශපාලන සටනකුත් නොවෙයි. ඇත්ත වශයෙන්ම මෙය ජනතාවගේ ජීවිත බේරන සටනක්. අපි ආණ්ඩු මාරු කරන්න කියන්නේ නැහැ. මේ රටේ ව්‍යවස්ථාව අනුව රටේ වගකීම තියෙන්නේ කැබිනට් මණ්ඩලයටයි. ජනාධිපතිතුමාත්, කැබිනට් ඇමතිවරුත්, අපේ ජනතාව මෙම වසංගතයෙන් රැකගැනීම වෙනුවෙන් අවශ්‍ය පූර්ණ බලතල කැබිනට් මණ්ඩලයට ගත යුතුයි. කොවිඩ් පාලනයට තියෙන කමිටු අසාර්ථක වෙලා තියෙන්නේ. මෙහි බරපතළකම ගැන කලින් කීවාට එකක්වත් එතනින් ක්‍රියාත්මක වෙලා නෑ.

    ජනතාවගේ විශ්වාසය නැති වෙලා. අපි කියන්නේ කැබිනට් මණ්ඩලයට මේ බලතල දෙන්න. ජනාධිපතිතුමා හා කැබිනට් මණ්ඩලය මේ බලතල වහාම භාර ගන්න. මේ සතියේ ම පාර්ලිමේන්තු විපක්ෂ නායකයින් සමග කථා කරන්න. එයාලගේ සහයෝගය හා අදහස් ලබා ගන්න. ඔවුනුත් ඒ අවශ්‍ය සහයෝගය ලබලා දෙන්න අවශ්‍යයි. ඉක්මණින් ක්‍රියාත්මක වෙන්න. දැන්මම ක්‍රියාකළේ නැතිනම් ජිවිත ගණනාවක් නැති වෙන්න පුළුවන්. රටේ ජනතාව ගැන අනුකම්පාවක් තියෙනවා නම් කැබිනට් මණ්ඩලය මේ වගකීම අරගන්න. එතන පළපුරුද්දක් තියෙන අය ඉන්නවා. ඒ අනුව ක්‍රියාකරන්න කියලා මම විශේෂ ඉල්ලීමක් කරනවා.“

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img