තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්‍මෙරට තුළ ඉන්ධන බිස්නස් කරන්න Sinopec සමාගමට ඉඩදෙයි

    ‍මෙරට තුළ ඉන්ධන බිස්නස් කරන්න Sinopec සමාගමට ඉඩදෙයි

    මෙරට තුළ ඛනිජ තෙල් ආනයනය, ගබඩා කිරීම, බෙදාහැරීම සහ විකිණීම සම්බන්ධයෙන් දීර්ඝ කාලීන කොන්ත්‍රාත්තුවක් සඳහා ගිවිසුමක් මීට සුළු මොහොතකට පෙර අත්සන් තබා තිබේ.

    ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ය.

    චීනයේ සහ සිංගප්පූරුවේ පිහිටි Sinopec Fuel Oil Lanka (Pvt) Ltd ආයතනයේ මව් සමාගම සමඟ සාකච්ඡා අවසන් කර එම ගිවිසුම අත්සන් කර ඇත.

    කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ කමිටුවේ නිර්දේශ අනුව මෙම පියවර ගෙන ති‍බේ.

    ශ්‍රී ලංකාවේ පවතින විදේශ විනිමය අර්බුදය හමුවේ පාරිභෝගිකයින් දුෂ්කරතාවට පත්නොවන ආකාරයට අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කිරීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය මෙම පියවරට එළැඹිණි.

    පසුගිය සමයේ ඉන්ධන නැව්ගත කිරීම සඳහා ප්‍රමාණවත් විදේශ විනිමය ලබා දීමට නොහැකි වීමෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාව (CPC) සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (LIOC) විශාල අභියෝගයකට මුහුණ දෙනු ලැබීය.

    මෙම ගැටලුව විසඳීම සඳහා අමාත්‍යාංශය විවිධ උපාය මාර්ග සොයා බැලූ අතර ඊට පිළියමක් ලෙස ඉන්ධන නිෂ්පාදනය කරන රටවල පිහිටුවා ඇති පිළිගත් ඛනිජ තෙල් සමාගම්වලින් ශ්‍රිලංකාවට ඉන්ධන සැපයුම පිළිබඳ විමසන ලදී.

    එහි අරමුණ වූයේ මෙරට තුළ ක්‍රියාත්මක බෙදාහැරීමේ අළෙවි නියෝජිත ජාලයන් තුළින් ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදාහැරීම සහ අළෙවිය සිදු කිරීමයි. ඒ අනුව මෙම යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමි විය.

    එහිදී වෙළඳපොළට ඇතුළු වන නව සිල්ලර සැපයුම්කරුවන් සඳහා පනවා ඇති එක් ප්‍රධාන කොන්දේසියක් වන්නේ දේශීය බැංකු මත රඳා නොසිට විදේශ විනිමය අවශ්‍යතා ඔවුන් විසින්ම සුරක්ෂිත කර ගැනීමේ හැකියාවයි.

    ඒ අනුව මෙම සමාගම් අවම වශයෙන් ආරම්භක වසරක මෙහෙයුම් කාලය තුළදී විදේශීය මූලාශ්‍ර හරහා ඉන්ධන ප්‍රසම්පාදනය සඳහා තමන්ගේම අරමුදල් යොදා ගත යුතුය.

    මේ සඳහා ඔවුන්ගේ එකඟතාව ලැබීමෙන් පසු කෙටි ලැයිස්තුගත කර ඇති සමාගම්වලට ඔවුන්ගේ යෝජනා ඉදිරිපත් කිරීමට ආරාධනා කෙරිණි.

    කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ කමිටුව (CASC) සහ තාක්ෂණික ඇගයීම් කමිටුව (TEC) විසින් එම යෝජනා මනා ලෙස පරීක්ෂා කර, සාකච්ඡාවලට යටත්ව පහත සඳහන් සමාගම් වෙත කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම නිර්දේශ කරන ලදී.

    එම සමාගම් වන්නේ,
    • Sinopec Fuel Oil Lanka (Private) Limited, F5, හම්බන්තොට මැරිටයිම් සෙන්ටර්, මිරිජ්ජවිල, හම්බන්තොට.
    • United Petroleum Pty Ltd, 600, ග්ලෙන්ෆෙරි පාර, හෝතෝන්, වික්ටෝරියා 3122, ඕස්ටේලියාව.
    • Shell PLC සමඟ සහයෝගයෙන් RM Parks, 1061 N. මේන් ස්ට්‍රිට්, පෝටර්විල්, කැලිෆෝනියා 93257, ඇමරිකාව.

    බලපත්‍රය නිකුත් කිරීමෙන් පසු දින 45ක් ඇතුළත සිනොපෙක් සමාගම සහ එහි අනුබද්ධ සමාගම් ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතය.

    මෙම ක්‍රියාවලිය තුළින් වඩාත් ස්ථාවර සහ විශ්වාසනීය ඉන්ධන සැපයුමක් සහතික කෙරෙන අතර රටේ බලශක්ති ක්ෂේත්‍රය නංවාලීමට ද එය දායක වනු ඇති බව රජය නිවේදනය කරයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img