
මැගසින් බන්ධනාගාරය තුළට මත්කුඩු රැගෙන එන මාර්ග අහුරමින් නීතිය දැඩිව ක්‍රියාත්මක කරමින් සිටි මැගසින් බන්ධනාගාරයේ නියාමකවරයෙකු පදිංචිව සිටින මිනුවන්ගොඩ නිවසට ඊයේ අලුයම කඩාවැදී ඇති සන්නද්ධ පාතාලයේ සාමාජිකයන් තිදෙනෙක් ඔහුට පහරදී දණ ගස්සවා මරණිය තර්ජනයකර පළාගොස් ඇත.
පහරදීම් වලින් තුවාල ලැබූ එම්.ටී.එස්.කේ මාරසිංහ නැමැති නියාමකවරයා මිනුවන්ගොඩ රෝහලට ඇතුලත්ව මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටියි.
“උඹට පුළුවන්ද හිර ගේ හදන්න. කුඩු රටට ගේන එක නවත්වන්න මහ එවුන්ටත් බැරිවෙච්ච එකේ උඹ මොකෙක්ද? මැගසින් එකේ සිංහයා අපි ඉස්සරහා බලුවෙලයි දැන් ඉන්නේ“ යැද නිවසට කඩා පැන්න සන්න්ධ පිරිස ඔහුව දණගස්සවා තබාගෙන එසේ පවසා තිබෙන බව පොලිස් තොරතුරු සඳහන් කළේය.
අවිවාහකයෙක් වන නියාමක මාරසිංහ 28 හැවිරිදි වියේ පසුවන්නෙකි. නිවසේ ජීවත්වන්නේ මව සහ නැගණිය සමගිනි. මවත් නැගණියත් සන්නද්ධ පුද්ගලයින්ගේ දෙපතුල ලඟ වැද වැටී මාරසිංහ ට අනතුරක් නොකරල ලෙස ඉල්ලීම්කරන විට ඒ අයටද මෙම සන්නද්ධ පිරිස පයින් ගසා ඇති බව සඳහන්ය.
අලුයම 4.30ට පමණ මෙම සන්නද්ධ පුද්ගලයින් තිදෙනා නිවසට කඩා වැදී ඇත්තේ වැස්සත් සමගින් මුහුණ මුළු මනින්ම ආවරණය වන ලෙස හිස් ආවරණ පැලද කථා කබා වලින් සැරසීය.
මෙම සන්නද්ධ පිරිස පැමිණ ඇත්තේ යතුරුපැදිවලින් බවට තොරතුරුද පොලීසියට ලැබී ඇත. ඔවුන් “මාරසිංහ මහත්තයා “ යැයි කියමින් දොරට තට්ටුකර ඇති බවත් දොර විවෘතකර ඇත්තේ නියාමක මාරසිංහගේ මව විසින් බවත් පොලීසිය කියයි.
නිවසේ දොර මව විසින් විවෘත කිරීමත් සමඟ නිවස තුළට සන්නද්ධ පිරිස කඩාවැදී ඇති බවත් කාමරයේ නිදා සිටි මාරසිංහ ඒත් සමඟ කාමරයෙන් පිටතට පැමිණ ඇති බවත් පොලීසිය කියයි. එහිදී එම සන්නද්ධ පුද්ගලයින් නියාමක මාරසිංහට පිස්තෝලයකින් හිසට මුලින්ම පහරදී පිස්තොලය හිසට තබා දණගස්සවා ඇති බව පොලීසිය කියයි. එම අවස්ථාවේදී නිවසට කඩාවැදුණු සන්නද්ධ පුද්ගලයින් තිදෙනා නියාමකට අතින් පයින් පහරදී ඇති බවත් ඊට අමතරව පිස්තොල මිටෙන් කිහිප විටක්ම හිසට පහරදී ඇති බවත් සඳහන්ය.
මෙහිදී කේබල් ටයි මගින් නියාමක මාරසිංහගේ දෑතත් ගැටගැසීමටද එම පිරිස උත්සහ දරා ඇතත් ඔහු ඊට ඉඩනොදී දඟලා ඇත. එවිටද මෙම පිරිස ඔහුට පහරදී තිබෙන බව සඳහන්ය.
මෙම පහරදීමට ආසන්නතම හේතුව ලෙස සැලකෙන්නේ මරදානේ මත්කුඩු ජාවාරම්කරුවෙක් මාසයකට පමණ පෙර ඔහුගේ උපන්දිනය වෙනුවෙන් සාදයක් පැවැත්වීමට බන්ධනාගාරයට රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගයක් නියාමක මාරසිංහ විසින් අල්ලාගැනීමය. ඒ ගැන වැඩිදුර විමර්ශන සිදු කිරීමේදී හෙළිවී ඇත්තේ ඔහුට වඩා ඉහළ නිලධාරියෙක් මගින් එම මත්ද්‍රව්‍ය බන්ධනාගාරය තුළට රැගෙන විත් ඇති බවය. ඒ සම්බන්ධයෙන් මේ වන විට බන්ධනාගාරය මගින් අභ්‍යන්තර විමර්ශනයක්ද පැවැත්වෙන බව සඳහන්ය.
මෙම නිලධාරියාට පහරදීමක් සිදුවන්නේ මරදානේ මත්කුඩු ජාවාරම්කරු ඇප මත නිදහස්ව යාමත් සමගිනි. මේ සම්බන්ධයෙන් දැඩි සැකයක් පවතින බව මෙම නිලධාරියා මිනුවන්ගොඩ පොලීසියට සිය පැමිණිල්ල සිදුකරන විට පවසා ඇති බවද පොලිස් තොරතුරු සඳහන් කළේය.