පසුගිය වසර කිහිපය තුළ නොයෙකුත් අවාසනාවන්ත සිදුවීම් හා වසංගත රෝක කාරක තත්ත්වයන් හේතුකොට ගෙන වෙසක් උත්සවය සැමරීමට නොයෙකුත් බාධාවන් ඇතිවූ නමුත් මෙම වසරේ එවැනි බාධක දුරුවීම කාගේත් සතුටට කරුණක් බව අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහානාහිමියෝ වෙසක් උත්සවය නිමිත්තෙන් පිණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිති.
එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.
වෙසක් පුන් පොහෝ දිනය ශ්‍රී ලංකාවේ මෙන්ම විදෙස් රාජ්‍යයන් හි ජීවත් වන සියලු බෞද්ධාගමිකයින්ට ආගමික වශයෙන් වැදගත් වන්නේ සම්මාසම්බුද්ධත්වයට පත් සිද්ධාර්ථ ගෞතම නම් වූ බුදුන්වහන්සේගේ උප්පත්තිය, බුද්ධත්වයට පත්වීම සහ පිරිනිවන් පෑම සිදු වූයේ වෙසක් පුන් පොහෝ දිනයකම වීම නිසයි.
වෙසක් දිනය මුළු ලෝකයටම වැදගත් වූ දිනයකි. වෙසක් දිනය ජත්‍යන්තරව පිළිගැනීමට ලක්කිරීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයට අපගේ පුණ්‍යානුමෝදනාත්මක කෘතඥතාව පිරිනැමිය යුතුය. ශ්‍රී ලාංකිකයින් වශයෙන් අපට මෙය වැදගත් වන්නේ අපේම කෙනෙකු විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ක්‍රියාත්මක කර ගැනීමට කටයුතු කිරීමයි. දිවංගත අපගේ විදේශ කටයුතු අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ මැතිතුමාගේ නාමය නොමැකෙන ලෙස ඉතිහාසයේ සටහන්ව ඇත්තේ එතුමා ගේ එම යහපත් ක්‍රියාව නිසාමය.
වෙසක් පුන් පොහෝ දින ශ්‍රී ලංකික බෞද්ධ ජනතාව ආගමික වතාවත් වල නිරත වෙති. සියලුම විහාරස්ථානයන් සිල් ඇත්තන්ගෙන් පිරීයති. බොහෝ අය ආමිස පූජාවන් වල යෙදෙති. දන්සල් දෙති. නැත්තන් හට උපකාර කරති. බුද්ධලම්භන ප්‍රීතියෙන් අලංකාර සැරසිලි කරති. ජාතක කතා වස්තූන් විස්තර කෙරෙන තොරණ හා පෙරහර කරති. ජාතියක,ආගමක වෙනසක් නොමැතිව ශ්‍රී ලාංකිකයින් තෙමගුල් මහෝත්සවය නොහොත් වෙසක් මංගල්‍යය සමරති. විශේෂයෙන් කුඩා දූ දරුවන් වෙසක් ප්‍රීතිය බුක්ති විඳිති. පසුගිය වසර කිහිපය තුළ නොයෙකුත් අවාසනාවනත් සිදුවීම් හා වසංගත රෝක කාරක තත්ත්වයන් හේතුකොට ගෙන වෙසක් උත්සවය සැමරීමට නොයෙකුත් බාධාවන් ඇතිවිය. නමුත් මේ වසරේ එවැනි බාධක දුරුවීම කාගේත් සතුටට කාරණාවකි.
ශ්‍රී බුද්ධ වර්ෂ 2567 නොහොත් 2023 වර්ෂයේ පුත්තලම දිස්ත්‍රික්කය මූලික කරගෙන රාජ්‍ය වෙසක් උත්සවයත් ඊට සමාගාමීව සිරිත් පරිදි රට පුරා විහාරස්ථානවල වෙසක් උත්සවයන් පවත්වනවාට කිසිදු සැකයක් නොමැත. බුදුන්වහන්සේ අපට අවබෝධ කර දුන්නේ පිරිසිදු මනසකින් කටයුතු කිරීමේ ක්‍රමයයි. ඒ තුළින් අපට වැරදි නිවැරදි කර ගැනීමේ මාර්ගය අවබෝධ වෙයි. එබැවින් ඒ ධර්මතාව මත පහන් සිතැතිව වෙසක් මංගල්‍යය සැමරීම සුදුසු බව වටහාගත යුතුය. මෙම වසරේ රාජ්‍ය වෙසක් මංගල්‍යය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කරන්නාවූ සියලු ප්‍රයත්නයන් සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරන අතර සියලු බෞද්ධයින්ට සුබ වෙසක් මංගල්‍යයක් වේවායි සුභාශංසනය කරම්හ.