තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉදිරි දිනවලදී සුඩානයෙන් ලාංකිකයන් ඉවතට - කාර්තූම් තවමත් ඇවිලෙයි

    ඉදිරි දිනවලදී සුඩානයෙන් ලාංකිකයන් ඉවතට – කාර්තූම් තවමත් ඇවිලෙයි

    සුඩානයේ සිටින ශ්‍රී ලාංකිකයන් ඉවත් කිරීමට අමාත්‍යාංශය ක්‍රියාකාරීව කටයුතු කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි සහතික කරයි.

    මේ අනුව, දැනට සුඩානයේ වෙසෙන සියලුම ශ්‍රී ලාංකිකයින් ඉදිරි දින කිහිපය තුළ ඉවත් කිරීමට හැකිවනු ඇතැයි අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.

    මේ සම්බන්ධයෙන් ඉන්දියාව ලබා දුන් සහයෝගය ද අමාත්‍යවරයා අගය කළේය.

    අප්‍රේල් 22 වන දින ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ සුඩානයේ කයිරෝ හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ඔවුන් දැනට කාර්තූම් සහ එහි තදාසන්න ප්‍රදේශවල සිටින ශ්‍රී ලාංකිකයින් සමඟ නිරන්තර සම්බන්ධතා පවත්වන බවට සහතික වී ඇති බවයි.

    ඒ අනුව, [email protected] යන තානාපති කාර්යාලයේ විද්‍යුත් තැපෑලෙන් සහ +201272813000 යන දුරකථන මාර්ගය හරහා තානාපති කාර්යාලය සමඟ සම්බන්ධ විය හැකි අතර, ක්ෂණික සහාය සඳහා, කාර්තූම්හි ශ්‍රී ලංකා කොන්සල් සයීඩ් අබ්දෙල්, +249912394035 ඔස්සේ ඇමතීමට හැකිය.

    සූඩානයෙන් විදේශිකයන් ඉවතට!

    සූඩානයේ පසුගිය සතිය පුරා උත්සන්න වී ගිය සටන් හේතුවෙන් එය ජාත්‍යන්තර අනතුරු ඇඟවීමේ සීනු නාද කිරීමට හේතුවක් විය.

    මේ හේතුවෙන් අරාබි රජය විසින් සූඩානයේ වෙසෙන විදේශ රටවල් 66ක පමණ විදේශිකයන් ඉවත් කරගැනීමට වහා කටයුතු කළේය.

    සුඩානයේ අර්බුදය අනෙක් රටවලටත් බලපාන්නේ ඇයි?

    අප්‍රිකාවේ තුන්වන විශාලතම රට වන සූඩානය රටවල් හතකට මායිම් ව ඇත. ඒ සෑම එකක්ම කාර්තූම්හි දේශපාලනය සමඟ බැඳී ඇති අතර ආරක්ෂක අභියෝගවලින් ද පිරී පවතින්නකි. එබැවින් සූඩානය අස්ථායී සහ භූ දේශපාලනික වශයෙන් වැදගත් කලාපයක් හරහා විහිදේ.

    සූඩානයේ අගනුවර වන කාර්තූම්හි හමුදාමය හෝ දේශපාලනික වශයෙන් කුමක් සිදු වුවද, එය මුළුමහත් මහාද්වීපයටම මෙන්ම ලෝකයට ද බලපෑම් එල්ල කළ හැකි තරම් ප්‍රබල ය.

    සුඩානයේ ප්‍රශ්නය

    සුඩානයේ අගනගරය වන කාර්ටූම් පසුගිය අප්‍රේල් 15 සිට දරුණු සටන් අත්විඳිමින් සිටී. සුඩානයේ පාලනය අල්ලා ගැනීමට උත්සාහ දරන එහි ඉහළම ජෙනරාල්වරුන් දෙදෙනෙකුට පක්ෂපාතී හමුදා අතර ඇති වූ සටන් ගැටුම්වලට මුල්වී තිබේ. මෙම ගැටුම් එහි මුළුමහත් ජාතියම බිඳවැටීමේ අවදානමකට ලක්කර තිබේ.  එහි දේශසීමාවෙන් ඔබ්බට සෙසු රාජ්‍යයන් කරා ද මෙය ප්‍රතිවිපාක ඇති කළ හැකි බව මත පළකෙරේ.

    සටන කා අතරද?

    මේ සටන ඇරඹී ඇත්තේ එරට සන්නද්ධ හමුදා ප්‍රධානී ජෙනරාල් අබ්දෙල් ෆාටා බුර්හාන් (SAF) සහ පැරාමිලිටරි කණ්ඩායම් නායක ජෙනරාල් මොහොමඩ් හම්දාන් දගලෝ (RSF) අතරයි.

    මෙම හමුදා කණ්ඩායම් දෙකම මෙහෙයවනු ලබන්නේ වසර ගණනාවක් ඔමාර් අල් බෂීර්ට සේවය කළ විශ්වාසවන්තම හමුදා ජෙනරාල්වරුන් දෙදෙනකු විසිනි. පසුව මොවුන් දෙදෙනා 2019 දී බෂීර් බලයෙන් පහකිරීමේ මහජන අරගලයට උපකාරී වූයේ ඒකාබද්ධ හමුදා ක්‍රමන්ත්‍රණයක් ද ක්‍රියාත්මක කරමිනි.

    සුඩානයේ සන්නද්ධ හමුදා (SAF) හි ප්‍රධානියා වන අබ්දෙල් ෆාටා බුර්හාන් වසර ගණනාවක් තිස්සේ සේවය කළ බෂිර්ගේ වචනාර්ථයෙන් කිවහොත් දේශපාලනිකව විශ්වාසවන්ත ලුතිනන්වරුන්ගෙන් කෙනෙකි.

    මොහොමඩ් හම්දාන් දගලෝ යනු වේගවත් ආධාරක බලකා (RSF) පැරාමිලිටරි බලකා නායකයායි. බෂීර්ගේ ඔත්තු සේවාවල පාලනය යටතේ පිහිටුවන ලද RSF ඩාර්ෆූර් හි  ජන්ජාවීඩ් සටන්කාමීන්ගෙන් වර්ධනය වූවකි. බෂීර් 2017 දී, පැරාමිලිටරිය ඔහුගේ සෘජු පාලනය යටතට ගෙන, ‘මේ මගේ ආරක්ෂාව’ ලෙස හැඳින්වීය.

    වත්මන් ගැටුමට හේතුව?

    සුඩානයේ මෑත කාලීනතම සටන් ආරම්භ වූයේ ප්‍රජාතන්ත්‍රවාදයට සංක්‍රමණය වීමට ගත් උත්සාහයත් සමඟ ය.

    1989 දී ඉස්ලාම්වාදීන්ගේ පිටුබලය ඇති හමුදා කුමන්ත්‍රණයකින් බලයට පත් වූ බ්‍රිගේඩියර් ජෙනරාල් ඔමාර් අල්-බෂීර් වසර 30 ක් සුඩානය පාලනය කළේය. මේ දිගුකාලීන ඒකාධිපතියා 2019 අප්‍රේල් මාසයේ ඇති වූ මහජන නැගිටීමකින් ඔහු නෙරපා හරින ලදී.

    එහිදී ඒකාබද්ධ හමුදා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කළ ජෙනරාල්වරුන් දෙදෙනා අතර බෂීර් නෙරපීමෙන් පසු ආරම්භ වූ ප්‍රජාතන්ත්‍රවාදයට සංක්‍රාන්ති වීමේ ක්‍රියාවලියේදී එම ඒකාබද්ධතාව පීලිපැන්නේ ය. පාලනය අතට ගැනීමේ සටන් ඇර‍ඹුණේ එතැන් සිට ය.

    දෙපාර්ශවයටම දස දහස් ගණනක් සටන්කරුවන්, විදේශීය ආධාරකරුවන්, ඛනිජ සම්පත් සහ සම්බාධකවලින් ඔවුන්ව සන්නද්ධ කළ හැකි වෙනත් සම්පත් ඇත.

    එය ලෙබනනය සහ සිරියාවේ සිට ලිබියාව සහ ඉතියෝපියාව දක්වා මැදපෙරදිග සහ අප්‍රිකාවේ අනෙකුත් රටවල් විනාශ කර ඇති ආකාරයේ දීර්ඝ ගැටුම් සඳහා හේතු රැසක් යැයි කිව හැකි ය.

    සුඩානයේ හෙට!

    මේ සටන දැනටමත් මිනිසුන් සිය ගණනක් මරා දමා ඇත. මිලියන ගණනක් නාගරික ප්‍රදේශවල කොටු වී, වෙඩි තැබීම්, පිපිරීම් සහ කොල්ලකෑමෙන් ගැලවී සිටීමට උත්සාහ දරමින් සිටී.

    පවතින අලුත්ම සටනේ ජයග්‍රාහකයා සුඩානයේ මීළඟ ජනාධිපතිවරයා වීමට ඉඩ ඇත.  පරාජිතයා පිටුවහල් කිරීමට, අත්අඩංගුවට ගැනීමට හෝ මරණයට මුහුණ දීමට සිදුවේ. එසේ ද නොවුණොත් දිගුකාලීන සිවිල් යුද්ධයක් හෝ අරාබි සහ අප්‍රිකානු රට ප්‍රතිවාදී රාජ්‍යයක් ලෙසින් බෙදීමට ද ඉඩක් ඇත.

    සුඩානයේ හිටපු ජනාධිපති ඕමාර් අල්-බෂීර් කාර්ටූම් හි උසාවියක සිරකූඩුවක් තුළදී

    බලයෙන් පහ කළ බෂිර් 2019 වසරේ සිට අධි ආරක්‍ෂිත මධ්‍යස්ථානය වන කෝබර් බන්ධනාගාරයේ රඳවා සිටී. එහෙත් පසුගිය සති අන්තයේදී එහි රැඳවියන් දහස් ගණනක් පලා ගියහ.

    බෂිර් එහි තවමත් සිටීද නැතහොත් පලාගියේද යන්න සැකකෙරේ. එමෙන්ම පාලනය අතට ගැනීමේ සටනක යෙදෙන ජෙනරාල් අබ්දෙල් ෆටා අල්-බුර්හාන්ගේ සුඩාන සන්නද්ධ හමුදාව (SAF) විසින් බෂීර් රැගෙන ගිය බවට සැකයක් ඇතත් තවමත් එය තහවුරු කරගෙන නැතැයි එහි වාර්තා පවසයි.

     

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img