බටහිර වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් වසර තුනක් තිස්සේ සිය නිවසේ වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යමින් රෝගීන්ට ප්‍රතිකාර කල 35 හැවිරිදි තරුණයෙකුව ගලෙන්බිදුණුවැව පොලීසියේ සහය ඇතිව අනුරාධපුර දිස්ත්‍රික් ආහාර හා ඹෟෂධ පරීක්ෂක නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එක්ව කල වැටලීමකදී පෙරේදා (22) අත්අඩංගුවට ගෙන ඇත.
අනුරාධපුර අලිවංගුවේ පදිංචිව සිටින මෙම හොර දොස්තරගෙන් ප්‍රතිකාර ගැනීමට විශාල පිරිසක් පැමිණෙන බවද විමර්ශන වලින් අනාවරණය වී තිබේ.
මෙම සැකකරු උසස් පෙළ ජීවි විද්‍යා අංශයෙන් අධ්‍යාපනය ලබා ආයුර්වේද වෛද්‍ය පීඨයට තේරීපත්ව ඇති අයෙකි. 2015 වසරේදී ආයුර්වේද වෛද්‍ය පීඨයට තේරීපත්ව වසර දෙකක් පමණ පුහුණුව ලබා උපාධිය සම්පූර්ණකර නොමැතිව ඔහු බටහිර වෛද්‍යවරයෙක් ලෙස රෝගීන්ට ප්‍රතිකාර කිරීමට පටන්ගෙන ඇති බව විමර්ශන වලින් හෙළිවී ඇති බව පොලීසිය කියයි.
මෙම සැකකරුගේ මව වතු වෛද්‍ය මධ්‍යස්ථානයක සේවයකර ඇති තැනැත්තියක් බවත් ඒ ඔස්සේ මෙම තරුණයා ඖෂධ ගැන යම් අවබෝධයක් ලබාගෙන සිටීම නිසා වෛද්‍යවරයෙක් ලෙස රගපෑමට හැකියාවක් ලැබී ඇති බව විමර්ශන වලින් පෙනී ගොස් ඇත.
මෙම හොර වෛද්‍යවරයා ගැන තොරතුරු හෙළිවී ඇත්තේ පොලිස්පතිවරයාට ලද පෙත්සමකිනි. එම පෙත්සම විභාග කරන ලෙස පොලිස්පතිවරයා විසින් උතුරුමැද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට යොමුකර ඇති බවත් ඒ අනුව ගලෙන්බිදුණු වැව පොලිස් ස්තානාධිපතිවරයාගේ මෙහෙයැවීමෙන් විමර්ශනයක් සිදුව ඇති බවත් පොලිස් තොරතුරු අනාවරණය කළේය.
මෙවැනි පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේදී එය පොලීසියට ඝෘජුව කිරීමේ නීතිමය බාධා පැවති බැවින් මෙම හොර වෛද්‍යවරයා ගැන පොලීසිය මුලින්ම දැනුවත්කර ඇත්තේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීවරයාවය. එහිදී දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරියාගේ සහය ඇතිව අනුරාධපුර දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරීක්ෂක නිලධාරීන්ගේද ගලෙන්බිදුණු වැව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේද සහය ඇතිව අදාල වෛද්‍ය මධ්‍යස්ථානය වැටලූ බව පොලීසිය කියයි.
මෙහිදී එම වෛද්‍ය මධ්‍යස්ථානය තුළ රෝගීන්ට ලබාදීමට විවිධ වර්ගයේ ඖෂධ ගබඩාකර තිබී ඇත. එසේ ඖෂධ ගබඩාකර තබා ගැනීමට හැකියාව ඇත්තේ ලියාපදිංචි කර බැවින් ඒ සම්බන්ධයෙන්ද ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන බව පොලීසිය කියයි.
කෙසේ වෙතත් එම නීතිමට කටයුතු ඔහුට එරෙහිව සිදුවන්නේ අනුරාධපුර දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරීක්ෂක නිලධාරීන් මගින් බවත් අත්අඩංගුවටගත් සැකකරුට ඇප ලබාදුන් බවත් පොලීසිය කියයි. ලබන මැයි 19 වෙනිදා ඔහුට නඩු පැවරීමට පියවර ගැනෙන බවද පොලීසිය සඳහන් කළේය.