යම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සඳහා පැමිණ ඇති බවට සැකකරමින් රත්නපුර පොලීසිය මගින් අත්අඩංගුවටගත් ඉන්දියානු ජාතිකයෙකු අද (24) දක්වා රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාරගතකර තිබේ.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ අපූර්වාගනී මොහොමඩ් යාස්මින් (43) නැමැති ඉන්දියානුවා බව පොලීසිය කියයි.
වීසා පවා නොමැතිව රැදී සිටි මෙම ඉන්දියානුවා කඩාකප්පල් කරී ක්‍රියාවක් සඳහා පැමිණ ඇතැයි ඇතිවුණු සැකයක් මත පෙරේදා (22) අත්අඩංගුවට ගැනීම කළ බව රත්නපුර මූලස්ථාන පොලීසිය කියයි.
මෙම ඉන්දියානු ජාතිකයා 2009 වසරේ සිට 2014 දක්වා කාලය තුළ රත්නපුර වැලිමළුවේ පිහිටි ඇගළුම් කර්මාන්ත ශාලාවක නිෂ්පාදන කළමනාකරරුවෙක් ලෙස සේවයේ නිරතව සිට ඇති බව විමර්ශන වලින්පෙනී ගොස් ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
පසුව ඔහු ඉන්දියාවට ගොස් නැවත පසුගිය මාර්තු 18 වෙනිදා පැමිණ ඇති බවත් ඔහු කොළඹ පල්ලියක නවාතැන් ගෙන සිට ඇති බවත් විමර්ශන වලින් අනාවරණය වී ඇත. මෙම ඉන්දියානුවා රත්නපුරයට හදිසියේම පෙරේදා පැමිණ ඇත්තේ කොළඹ සිට බවට පොලිසිය කියයි.
මෙම ඉන්දියානුවා සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් පවා කැදවා ඇති බව පොලීසිය කියයි.