
අකුරණ නගරයට සහ මුස්ලිම් ජනතාව වැඩියෙන් ගැවසෙන ප්‍රදේශ කිහිපයකට බෝම්බ ප්‍රහාර එල්ලවිය හැකි බවට 118 හදිසි ඇමතුම් අංශයට ව්‍යාජ ඊමේල් තොරතුරක් ලබාදී කැලඹීමක් ඇති කළ පුද්ගලයෙකුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද අත්අඩංගුවට ගත්තේය.
අකුරණ නගරයට බෝම්බ ප්‍රහාරයක් එල්ලවන බවට වූ ඊමේල් පණිවුඩය ලබාදී ඇත්තේ පසුගිය 18 වෙනිදාය. දෙවැනි ඇමතුම ලබාදී ඇත්තේ 19 වෙනිදාය.
මෙම ඇමතුම් දෙක මුල්කරගෙන අකුරණ නගරයේත් දිවයිනේ සෙසු ප්‍රදේශවලත් මුස්ලිම් දේවස්ථාන සහ මුස්ලිම් ජනතාව වැඩි වශයෙන් ජීවත්වන ප්‍රදේශ ආශිතව විශේෂ ආරක්ෂක වැඩපිිළිවෙලක්ද පොලීසිය දියත්කරනු ලිබීය.
මෙම තොරතුරෙහි සත්‍ය අසත්‍යතාව පරික්ෂා කිරීමේ අරමුණින් පොලිස්පතිවරයා විසින් මේ ගැන වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාශයට පවරනු ලැබීය. එහිදී පෙනී යන්නේ ජංගම දුරකථනයක් ඔස්සේ මෙම ඊමේල් පණිවුඩය යොමුකර ඇති බවය. එකම දුරකථනයකින් මෙම පණිවුඩ දෙකම ලබාදී ඇති බැවින් පරිගණක අපරාධ කොට්ඨාශය විසින් විමර්ශන පවත්වා එම ජංගම දුරකථනයේ හිමිකරු හදුනා ගනු ලැබීය.
එම පුද්ගලයා හාරිස්පත්තුව බටුගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වූ ඉසදීන් මොහොමඩ් සජිත් නැමැති 21 හැවිරිදි තරුණයෙකි. එම තරුණයා මුණ ගැසී කල කරුණු විමසීමේදී ඔහු මෙම පණිවුඩ යොමුකර ඇත්තේ සැබෑ ලෙසම සිදුවීමක් වන නිසා හෝ එවැනි තොරතුරක් දැනගෙන නොවන බවත් හිතළුවක් ලෙස බවත් අනාවරණය වී ඇත. ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනු ලබන්නේ ඔහු මවුලවිවරයෙක් බවය. 2016 වසරේදී මද්‍රසා පාසලක අධ්‍යාපනය ලබා මවුලවිවරයෙක් වී සිටින ඔහු ස්ථීර රැකියාවක පවා නිරත නොවන අයෙක් බව විමර්ශන වලින් පෙනී ගොස් ඇත.
ප්‍රශ්න කිරීම් හමුවේ මෙම මවුලවිවරයා රහස් පොලිස් නිලධාරීන් හමුවේ පවසා ඇත්තේ මෙම ඊමේල් පණිවුඩය තමාට කාන්තාවක් විසින් සකස්කර දුන් බවය. එහි ඇත්ත නැත්ත ගැන පවා ගැටළුවක් ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙම මවුලවිවරයා පසුගිය 20 වෙනිදා සිය ජංගම දුරකථනය මෘදුකාංගය නැවත අලුත්කර ඇති බවද විමර්ශන වලින් පෙනී ගොස් ඇත.
සැකකරුව මේ වන විට අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කර තිබේ.