
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ රාජ්‍ය ආරක්ෂක උපදේශක සාගල රත්නායක මහතාගේ අත්සන නිල මුද්‍රාව සහ ජනාධිපති කාර්යාලයේ ලිපි ශීර්ෂ සහිත ව්‍යාජ ලේඛනයක් උතුරුමැද පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට යොමුකර පොලිස් නිලධාරීන් 14 දෙනෙකු ස්ථානමාරු කිරීමට උත්සහගැනීමක් සම්බන්ධයෙන් අත්අඩංගුනටගත් පොලොන්නරුව පොලිසියට අනුයුක්තව සේවයෙ නිරතව සිටින පොලිස් පරීක්ෂකවරයා මැයි 04 වෙනිදා දක්වා අනුරාධපුර මහේස්ත්‍රාත් නියෝගයෙන් රක්ෂිත බන්ධනාගාරගතකර ඇත.
මෙසේ රක්ෂිත බන්ධාගාරගතකර ඇත්තේ පොලොන්නරුව නව නගරයේ පදිංචිකරුවෙක් වන 55 හැවිරිදි පොලිස් පරීක්ෂකවරයෙකි.
මෙම පොලිස් පරීක්ෂකවරයා කන්දකාඩු හී සේවයේ නිරතව සිට ඇති බවත් සාගල රත්නායක මහතා විසින් යොමුකරන ලිපියක් ලෙස ලිපියක් ව්‍යාජ ලෙස සකස්කර උතුරුමැද නියෝජ්‍ය පොලිස්පතිවරයාට යොමුකර මෑතකදී පොලොන්නරුවට ස්ථාන මාරුවීමක්ද ඔහු ලබාගෙන ඇති බවද විමර්ශන වලින් හෙළිවී ඇත.
පොලිස් නිලධාරීන් 14 දෙනෙකුගේ නම් සහිතව ජනාධිපති කාර්යාලයේ ලිපි ශිර්ෂයකින් එම නිලධාරීන් ඔවුන් දැනට සේවයේ සිටින ස්ථානවලින් වෙනත් ස්ථානවලට මාරුකරන ලෙසට සාගල රත්නායක මහතාගේ අත්සනින් යුතුව ලිපියක් ලියාපදිංචි තැපෑලෙන් උතුරුමැද පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රජිත ශ්‍රී දමින්ද මහතාට ලැබී ඇත්තේ සති දෙක තුනකට පෙරය.
මෙම ලිපියෙහි සඳහන්ව තිබී ඇත්තේ අදාල නිලධාරීන් සම්බන්ධයෙන් ලැබී ඇති පෙත්සමක් සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වෙන බැවින් ඔවුන් වෙනත් ස්ථාවලට මාරුකර යවන ලෙසය.
එම ලිපියෙහි එකී නිලධාරින්ට එරෙහිව ඇති චෝදනා කුමක්ද? විමර්ශන පැවැත්වෙන අංශය කුමක්ද? ආදී තොරතුරු කිසිවක් නොමැති කම නිසාත් පොලිස්පති මගින් එම ලිපිය යොමු නොකර ලියාපදිංචි තැපෑලෙන් ඝෘජුවම යොමු කර තිබීම නිසාත් ඇතිවන සැකය නිසාම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා තීරණය කරනුයේ මෙම ලිපිය සම්බන්ධයෙන් යම් තහවුරුකර ගැනීමක් කර ගැනීමටය. ඒ සඳහා ඔහු සහය පතන්නේ සාගල රත්නායක මහතාගේ ප්‍රධාන ආරක්ෂකයා වූ පොලිස් නිලධාරියාට වට්ස් ඇප් මගින් එම ලිපිය යොමුකර විමසීමක් කරනු ලබන්නේ මෙවැනි ලිපියක් සාගල රත්නායක මහතා යොමුකර තිබේදැයි සොයා බලා තමාට දැනුම්දෙන ලෙසය.
ඒ අනුව එම නිලධාරියා කළ සොයා බැලීමේදී තහවුරු වී ඇත්තේ එවැනි ලිපියක් සාගල රත්නායක මහතා යොමුකර නොමැති බවත් එවැනි ලිපි කිසිදු අවස්ථාවක ඔහු නිකුත්කර නැති බවත්ය. මේ බව ආරක්ෂක නිලධාරියා සාගල රත්නායක මහතා දැනුවත් කිරීමෙන් පසු පොලිස්පතිවරයාට සාගල රත්නායක මහතා දැනුම්දී ඇත්තේ මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙසය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එම විමර්ශන පොලිස්පතිවරයා පැවරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අතුරුන් වූවන් පිළිබද විමර්ශන අංශය විසින් උතුරුමැද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන්ද ප්‍රකාශ සටහන්කර ගනිමින් විමර්ශනයක් ආරම්භකර තිබේ.
එහිදී සාගල රත්නායක මහතා නමින් එම ලිපිය තැපැල්කර ඇත්තේ කොළඹින් බව ලිපි කවරයේ මුද්‍රාවලින් තහවුරුකරගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාල තැපැල් කාර්යාලයට ගොස් පරීක්ෂා කිරීමේදී අනාවරණය වන්නේ එදින එක් ලිපියක් පමණක් නොව, ලිපි දෙකක්ම ජනාධිපති කාර්යාලයේ නමින් ලියාපදිංචි තැපෑලෙන් තැපැල්කර ඇති බවය. උතුරුමැද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට නිලධාරීන් 14 දෙනෙක් ස්ථානමාරු කිරීමට නියෝගකර ඇත්තේ එම ලිපියෙනි. එම නිලධාරීන් 14 දෙනාම පොලොන්නරුව පොලිස් කොට්ඨාශයේ සේවයේ නිරතව සිටින අය බව සඳහන්ය.
දෙවැනි ලිපිය යොමුකර ඇත්තේ උතුරුමැද දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාටය. එවැනි ලිපියක් නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලැබී තිබේදැයි කළ පරීක්ෂාවේදී අනාවරණය වන්නේ ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලිපිය ලද දිනයේදීම නියෝජ්‍ය පොලිස්පතිවරයාටත් ලිපිය ලැබී ඇති බවය. ජනාධිපති කාර්යාලයේ ලිපි ශීර්ෂයෙන් සාගල රත්නායක මහතාගේ අත්සන සහ නිල මුද්‍රාව සහිත එම ලිපියෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම්දී තිබී ඇත්තේ කන්දකාඩු හී සේවය කරන පොලිස් පරීක්ෂකවරයෙකුව පොලොන්නරුව පොලිස් ස්ථානයට ස්ථානමරුවක් කරන ලෙසටය. එම ලිපියට අනුව ක්‍රියාත්මක වෙමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් අදාල පොලිස් පරීක්ෂකවරයාට කන්දකාඩු සිට පොලොන්නරුවට ස්ථානමාරුවීමක් ද ලබා දී තිබුණි. විශේෂත්වයක් වන්නේ අදාල ලිපියට අනුව ක්‍රියාත්මක වූ බව සඳහන් කරමින් සාගල රත්නායක මහතාට පිළිතුරු ලිපියක්ද යොමුකර තිබීමය.
මෙම ලිපි දෙක සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කෙරුණු විමර්ශනයකදී පෙනී යන්නේ කන්දකාඩු සිට පොලොන්නරුවට ස්ථානමාරුවක් ලබාගත් පොලිස් පරීක්ෂකවරයා විසින් මෙම ව්‍යාජ ලිපි දෙක සකස්කර ඇති බවය. ඒ සම්බන්ධයෙන් කළ තාක්ෂණික විමර්ශනයකදී පවා හෙළිවන්නේ එම ලිපි තැපැල් කරන අවස්ථාවේදී කොළඹ සිට ඇති බවය. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් මෙම නිලධාරියාව අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් තොරතුරු අනාවරණය කරනුයේ ස්ථාන මාරුකරන්නැයි සඳහන් 14 දෙනාගේ ලැයිස්තුවේ ඇත්තේ මෙම නිලධාරියා සමඟ හිත හොද නැති නිලධාරීන් පිරිසක් බවය.
මෙම නිලධාරීයා විසින් කළ මෙම විෂමාචාර ක්‍රියාව හේතුවෙන් පොලිස් ප්‍රධානීන් විසින් ඔහුගේ වැඩ තහනම් කිරීමට පවා ඊයේ වන විට අවශ්‍ය පියවර ගෙන තිබුණි.