පෆර් මාළු ආහාරයට ගැනීමෙන් පසු මැලේසියාවේ කාන්තාවක් මියගොස් ඇගේ සැමියා කෝමා තත්ත්වයෙන් දැඩි සත්කාර ඒකකයේ (ICU) සිටින බව විදෙස් වාර්තා පවසයි.
පසුගිය සතියේ මෙලෙස ප්‍රබල විෂ සහිත පෆර් මාළුවා ආහාරයට ගැනීමෙන් මියගොස් ඇත්තේ 83 හැවිරිදි කාන්තාවකි.
ඔවුන් එම මාළු ආහාරයට ගෙන ඇත්තේ එහි මාරාන්තික විෂ ඇති බව නොදැන බව විදෙස් වාර්තාවල දැක්වේ.
මෙම යුවළගේ දියණිය වන අයි-ලී පැවසුවේ තම පියා ප්‍රදේශයේ වෙළඳසැලකින් ප්‍රනීත ආහාරයක් වන ප්‍රබල විෂ සහිත පෆර් මාළු මිලදී ගත් බවයි.
“මගේ දෙමාපියන් වසර ගණනාවක් එකම මාළු වෙළෙන්දෙකුගෙන් මාළු මිල දී ගෙන ඇති නිසා මගේ පියා ඒ ගැන දෙවරක් ඒ ගැන සිතුවේ නෑ” ලී පැවසීය.
“ඔහු දැන දැනම මාරාන්තික දෙයක් මිල දී ගෙන කන්න තරම් ඔවුන්ගේ ජීවිත අනතුරේ හෙළාගන්නේ නැහැ.” යැයි ද ලී පවසා ඇත.
ඔවුන් දෙදෙනා දිවා ආහාරය සඳහා මාළු අනුභව කළ විගස, ලිම් සියු ගුවාන් නමැති මෙම කාන්තාව වෙව්ලීමට පටන් ගත් අතර හුස්ම ගැනීමේ අපහසුතා ඇති විය. පැයකට පමණ පසු ඇගේ සැමියා ද එම රෝග ලක්ෂණ පෙන්නුම් කළේය.
පසුව එම යුවළගේ පුත්‍රයා ඔවුන් දෙදෙනාව රෝහලට ගෙන ගොස් ඇති නමුත් ඔවුන්ගේ මව ගමන අතරමග මියගොස් ඇති බව රෝහලෙන් පවසා තිබේ.
ආහාර විෂ වීමත් සමඟ ස්නායුවලට බලපා හෘද රිද්මය සමඟ ශ්වසන අපහසුතාවයට හේතු විය හැක, සමහරවිට සිගුවාටෙරා ටොක්සින් හෝ ටෙට්රොඩොටොක්සින් ශරීරගත වීම මරණයට හේතුව’ ලෙස පවසා තිබේ.
එරට ආහාර හා ඖෂධ පරිපාලන අධිකාරියට අනුව, ජනප්‍රිය ජපන් ආහාරයක් වන පෆර් මාළුවල මාරාන්තික ටෙට්රොඩොටොක්සින් සහ සැක්සිටොක්සින් විෂ අඩංගු විය හැකි ය. ඒවා පිසීමෙන් හෝ කැටි කිරීමෙන් ඉවත් කළ නොහැක.
මෙම මත්ස්‍යයා ආහාරයට ගත හැකි වන ලෙස පිසිය හැක්කේ බොහෝ විට මෙම විෂ ද්‍රව්‍ය විනාශ කරන ආකාරය පිළිබඳ විශේෂ පුහුණුවක් ලබා ඇති ඉහළ පෙළේ දක්ෂ සූපවේදීන්ට පමණක් බව එම ආයතනය පවසා ඇත.
ෆුගු ලෙසද හැඳින්වෙන, මෙම පෆර් මාළු ජපන් ප්‍රණීත ආහාරයකි.
නමුත් එහි ටෙට්රොඩොටොක්සින් නම් නියුරොටොක්සින් අඩංගු වේ.
එම විෂ සයනයිඩ්වලට වඩා 1200 ගුණයකින් මාරාන්තික බව නැෂනල් ජියෝග්රැෆික් පවසයි.