තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නොඉඳුල් සහලින් ජය ශ්‍රී මහා බෝ සමිඳු පිදෙයි

    නොඉඳුල් සහලින් ජය ශ්‍රී මහා බෝ සමිඳු පිදෙයි

    ජාතික අලුත් සහල් මංගල්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස දී පැවැත්විණි.

    සාම්ප්‍රදායිකව වාර්ෂිකව මාස් කන්නයේ නෙළාගත් අස්වැන්නෙහි නොඉඳුල් සහලින් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් පිදීමේ මෙම අලුත් සහල් මංගල්‍ය අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මගින් 56 වන වරට සංවිධානය කර තිබුණි.

    රජ සමයේ සිට පැවැත එන මෙම චාරිත්‍රය සදහා රට පුරා ගොවීන් රැසක් එක්ව සිටි අතර කලට වැසි වසිත්වා – කෙත්වතු සාරවත් වේවායි ප්‍රාර්ථනා කිරීමත්, කෘෂිකර්මාන්තයෙන් රට ස්වයංපෝෂිත වී සමෘද්ධිමත් ආර්ථීකයක් ඇති වේවායි රටට, ජාතියට සෙත් පැතීමත් මෙහිදී සිදු කෙරිණි.

    අලුත් සහල් මංගල්‍යයට එක් වූ ජනාධිපතිවරයා පළමුව ජය ශ්‍රී මහා බෝ සමිදුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය.

    අනුරාධපුර සිංහ කණුව අසල සිට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ දක්වා පැමිණි අලුත් සහල් රැගත් පෙරහර ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ වැලි මලුවට ගෙවැදිණි.

    අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමින්වහන්සේ විසින් අලුත් සහලින් රන් පත්‍රය පිරවීම ආරම්භ කළ අතර, ඉන් අනතුරුව සියලු පළාත් ආවරණය වන පරිදි රැගෙන ආ සහල්වලින් රන් පාත්‍රය පිරවීම සිදු කෙරිණි.

    මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනා මැද රන් පාත්‍රය සහලින් පිරවීමේ අවස්ථාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එක්විය.

    සාම්ප‍්‍රදායිකව ජයශ‍්‍රී මහා බෝ සමිඳුන් වෙත පූජා කෙරෙන මී පැණි පූජාව සඳහා පිරිසිදු මී පැණි බඳුන උරුවරිගේ වන්නිල ඇත්තන් විසින් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූ අතර ජය ශ‍්‍රී මහා බෝ සමිඳුන් වෙත පූජා කෙරෙන ගිතෙල් පූජාව සඳහා සබරගමුව ඓතිහාසික සමන් දේවාලයෙන් රැගෙන ආ ගිතෙල් බඳුන ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.

    ජනාධිපතිවරයාගේ වයසට සමාන කරලින් පිරි වී කරල් මිටියක් පාරම්පරික වී ගොවි ජනතාව සුරැකීමේ සංවිධානයේ සභාපති චින්තන විලේගොඩ මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීය.

    පළාත් 09ම ආවරණය වන පරිදි ඒ ඒ ප්‍රදේශවලට ආවේණික වූ බීජ වී වර්ග ගොවීන් වෙත බෙදාදීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරිණි.

    56 වන ජාතික අලුත් සහල් මංගල්‍ය සමරු කලාපයේ ඩිජිටල් මුද්‍රණය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම ද සිදු විය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    1. රනිල් සෑහෙන අමාරුවෙන් වගා කරපු ඒවා නේ ඔය ඉන්න මැති ඇමතිවරු සේරම මේ දවස වෙනකන් කළේ කුඹුරු වැඩ

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img