මරදානේ පිහිටි දසමහල් භට නිවාසයේදී එහි නවාතැන් ගෙන සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සැරයන්වරයෙකුගේ ජංගම දුරකථනයක් සොරාගෙන එය අලෙවි කළ තානාපති ආරක්ෂක කෙට්ඨාශයේ පොලිස් කොස්තාපල්වරයෙකුව මරදාන පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සොරකම සිදුව ඇත්තේ පෙබරවාරි 23 වෙනිදාය. මේ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සැරයන්වරයා විසින් මරදාන පොලීසියට පැමිණිල්ලක්ද කර තිබී ඇත.
මෙම දුරකථනයට අදාල එමි අංකය ඔස්සේ වාර්තාවක් ලබා ගැනීමේදී දුරකථනය ඒ වන විට කොළඹ තරු පංතියේ හෝටල් සේවකයෙකු විසින් වෙනත් සිම්පතක් යොදා භාවිතා කරන බව අනාවරණය වී තිබේ. ඒ අනුව පොලීසිය එම සේවකයාගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හෙළිවී ඇත්තේ බම්බලපිටියේ පිහිටි දුරකථන අලෙවි ස්ථානයකින් තමා මෙම දුරකථනය කුළියට ගත් බවය. ඒ අනුව පොලීසිය එම වෙළද සැලේ හිමිකාරිනියගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවී ඇත්තේ තානාපති ආරක්ෂක කොට්ඨාශයේ සේවයේ නිරත නිලධාරියෙක් විසින් තමාට එම දුරකථනය රැගෙන විත් අලෙවි කළ බවය.
තානාපති ආරක්ෂක කොට්ඨාශයේ සේවය කරන එකී නිලධාරියාත් මරදාන පොලිස් භූමියේ පිහිටි දසමහල් බරැක්කයේ නවාතැන් ගෙන සිටින අයෙකි. ඊයේ අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී හෙළිවී ඇත්තේ බැරක්කයේදී මෙම සොරකම ඔහු විසින් සිදු කළ බවය. අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 04 වෙනිදා දක්වා ඔහුව රක්ෂිත බන්ධනාගාරගතකර ඇත.