මුල් පිටුව උණුසුම් පුවත් ඉන්දීය විද්‍යුත් වාහන ප්‍රතිනැව්ගත කිරීමේ ප්‍රධාන වරායක් බවට නුදුරේම හම්බන්තොට වරාය පත්වන...

ඉන්දීය විද්‍යුත් වාහන ප්‍රතිනැව්ගත කිරීමේ ප්‍රධාන වරායක් බවට නුදුරේම හම්බන්තොට වරාය පත්වන ලකුණු

0

ඉන්දියාවේ දිල්ලි නුවර පවත්වන ලද විද්‍යුත් වාහන පිළිබඳ සාකච්ඡා සභාවකට (ET Auto Electric Vehicle Conclave 2023) හම්බන්තොට ජාත්‍යන්තර වරාය ද සහභාගී වී ඇත. විද්‍යුත් වාහන නිෂ්පාදන මධ්‍යස්ථානයක් වීම කරා පා තබමින් සිටින ඉන්දියාව සමග ගනුදෙනු කිරීමට උනන්දුව දක්වන දෙස් විදෙස් ව්‍යාපාර හවුල්කරුවන්, නැගෙනහිර සහ බටහිර ප්‍රදේශවල වෙළඳපළ සඳහා වාහන ප්‍රතිනැව්ගත කිරීමට හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) දෙස නෙත් යොමා සිටී.

‘Plug-In for Efficient Adoption’ යන තේමාව යටතේ සංවිධානය කරනු ලැබූ මෙම සභාවට එක්වූ HIPGහි වාණිජ හා අලෙවි කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී බින්දු රණසිංහ මහතා පවසන්නේ, එතුළින් හම්බන්තොට ජාත්‍යන්තර වරාය හරහා ප්‍රතිනැව්ගත කිරීමට කැමැත්තෙන් සිටින ගනුදෙනුකරුවන් විශාල සංඛ්‍යාවක් හමුවූ බවයි. ‍

“පිහිටීම අතින් වැදගත් සංධිස්ථානයක් හිමි හම්බන්තොට වරායේ, සෞඛ්‍ය සහ ආරක්‍ෂිත ක්‍රියා පටිපාටීන් මෙන්ම අවම අනතුරු යනාදී මෙහෙයුම් හේතුවෙන් ව්‍යාපාරකරුවන් අතර හම්බන්තොට ජාත්‍යන්තර වරාය හට ඇත්තේ ඉහළ ආකර්ෂණයක්.” යැයිද ඒ මහතා පවසයි.

ඉන්දියාවේ ඊ.ටී. ඔටෝ.කොම් (ET Auto.com) විසින් සංවිධානය කළ මෙම සමුළුවට වාහන, තාක්ෂණික සහ සැපයුම් කර්මාන්තයේ දැවැන්තයින් රැසක් සහභාගී විය. ඕලා ඉලෙක්ට්‍රික් (Ola Electric) හි නිර්මාතෘ, ටාටා පැසෙන්ජර් ඉලෙක්ට්‍රික් මොබිලිටි ලිමිටඩ් (Tata Passenger Electric Mobility Limited) හි කළමනාකාර අධ්‍යක්ෂ සහ වොල්වෝ කාර් ඉන්දියා (Volvo Car India) හි කළමනාකාර අධ්‍යක්ෂක සංසදයේ, කථිකයන් ලෙස කටයුතු කළෝය. හීරෝ ඉලෙක්ට්‍රික් (Hero Electric), ජේ.බී.එම් ගෘප් (JBM Group), ලුමැක්ස් ගෘප් (Lumax Group), රිලායන්ස් ඉන්ඩස්ට්‍රීස් (Reliance Industries), ග්‍රීවුස් ඉලෙක්ට්‍රික් මොබිලිටි (Greaves Electric Mobility), මරුටි සුසුකි (Maruti Suzuki), කෙනෙටික් ග්‍රීන් (Kinetic Green), පැනසොනික් ඉන්දියා (Panasonic India) ආදී කර්මාන්ත ක්ෂේත්‍රයේ අනෙකුත් ප්‍රමුඛ සන්නාමයන් ද මේ අවස්ථාවට සහභාගී විය. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වූයේ ඉන්දියානු ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය නිතින් ගඩ්කාරි මහතායි.

"තිරසාර බවින් සහ ස්වයං විශ්වාසයෙන් යුත් සැපයුම් දාමයක් ගොඩනැගීම" යන තේමාව මූලික කොට ගෙන පැවති විද්වත් කථිකාවට සහභාගී වීමටද බින්දු රණසිංහ මහතාට අවස්ථාව හිමි විය. එහිදී ඔහු හම්බන්තොට ජාත්‍යන්තර වරාය හි වර්තමාන හා ඉදිරි වර්ධනය පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීමක් සිදු කළේය.

“වරායට ලැබුණු ප්‍රතිචාර ගැන අපි සතුටු වෙනවා. HIP, ක්‍රමෝපාය සහ ප්‍රතිනැව්ගත කිරීමේ කටයුතු වලින් ඔබ්බට යන නිසා අපගේ මූලාශ්‍ර වෙළඳපළ සහ විද්‍යුත් වාහන අලෙවිකරණය සහ නිෂ්පාදනය පිළිබද කරුණු අවබෝධ කර ගැනීම අත්‍යවශ්‍යයි. එමෙන්ම මූලික භාණ්ඩ නිෂ්පාදකයින් (original equipment manufacturers) සමඟ සම්බන්ධ වීම ද ඉතා වැදගත්. අපි මෙම සංසදයට සහභාගී වීමට ප්‍රධාන හේතුව ද මෙයයි. නැඟෙනහිර හා බටහිර යා කරන සේද මාවතේ ස්ථානගතව ඇති නව වරායක් ලෙස වාහන ප්‍රතිනැව්ගත කිරීමේ ධාරිතාව වර්ධනය කර ගැනීමේ හැකියාව HIP සතුව තිබෙනවා. පසුගිය වසර කිහිපය තුළ අපගේ RORO ප්‍රතිනැව්ගත කිරීමේ පරිමාවන් ඉහළ නැංවීමට අප සමත් වුණා. වර්තමානයේ විද්‍යුත් වාහන සඳහා වැඩි ප්‍රවණතාවයක් පවතින බැවින් එම වාහන ප්‍රතිනැව්ගත කිරීමේ කටයුතු සඳහා අප සූදානම් විය යුතුයි. දැනටමත් විද්‍යුත් වාහන සඳහා ආරෝපණ ස්ථාන සහ ඒ සදහා විශේෂිත වූ ප්‍රවාහන උපකරණ වරාය තුළ පිහිටුවීම ආරම්භ කර ඇත. තිබෙනවා. එමෙන්ම අපගේ වාහන ප්‍රතිනැව්ගත කිරීම් කටයුතු සඳහා ප්‍රමුඛ පාරිභෝගික පද්ධතිය පිහිටියේ ඉන්දියාවේයි. එනිසා පමණක් නොව, ක්ෂේත්‍රයේ ඉහළ ප්‍රමිතීන් පිළිබඳ අප සෑම විටම උනන්දු වන නිසා, විද්‍යුත් වාහන ප්‍රතිනැව්ගත කිරීම පිළිබඳ යාවත්කාලීන වීම ඉතා වැදගත්,” යැයි හම්බන්තොට ජාත්‍යන්තර වරාය හි වාණිජ හා අලෙවි කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් පවසා සිටියා.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version