පකිස්ථානයේ NI (M) ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී කමිටුවේ සභාපති ජෙනරාල් සහීර් ෂම්ෂාඩ් මිර්සා තෙදින සංචාරයක් සඳහා අද(09) ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
ඒ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී (CDS) ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් කරන ලද ආරාධනාවකට අනුවයි.
ශ්‍රී ලංකාවේ නිල සංචාරය ආරම්භ කරමින්, ජෙනරාල් සහීර් ෂම්ෂාඩ් මිර්සා, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය වෙත ගියේය.
එහිදී ශ්‍රී ලංකා යුද හමුදාවේ භට පිරිස් විසින් ඔහු වෙනුවෙන් පිරිනමන ලද විචිත්‍රවත් ගෞරව සම්මාන මුරයක් යටතේ ඔහු නිල වශයෙන් පිළිගන්නා ලදී.
කාර්යාලයට පැමිණීමත් සමඟ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහ ජෙනරාල් සහීර් ෂම්ෂාඩ් මිර්සා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
ආරක්ෂක ප්‍රධානීන් දෙදෙනාම පාකිස්ථාන-ලංකා අඛණ්ඩ සමීප සබඳතාවල වැදගත්කම අවධාරණය සාකච්ඡාවේදී අවධාරණය කර ඇත.
විශේෂයෙන්ම එල්ටීටීඊ ත්‍රස්තවාදයට එරෙහි සටනේ උච්චතම අවස්ථාවෙහිදී පාකිස්ථානය විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් උපකාරයන් සහ අතීත මතකයන් මෙහිදී දෙපාර්ශ්වය විසින්ම සිහිපත් කළහ.
සන්නද්ධ හමුදා පුහුණුව සහ නවීන යුධ උපකරණ වැනි විවිධ ක්‍රමවලින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශයට ලබා දුන් සහයෝගයට ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානීයා විසින් පකිස්ථාන ආරක්ෂක හමුදාවන්ට සිය කෘතඥතාව පළ කළේය.
ඒ අතරම, ව්‍යසනකාරී අවස්ථාවන්හිදී ලබාදුන් සහය පිළිබඳව ස්තුතිපූර්වකව ශවේන්ද්‍ර සිල්වා මහතා අවධාරණය කළ අතර, ඉදිරියේදීත් ශක්තිමත් සබඳතා පවත්වාගෙන යාමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කළේය.