පැලවත්තේ තෙමහල් නිවසක ඉහළ මහලේ වූ නාන තටාකය තුළදී ෂේඩ්ස් නිමි ඇදුම් සාප්පු ජාලයේ හිමිකරු වූ රොෂාන් වන්නිනායක මහතාව මරා දැමීම සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගත් සැකකාර යුවල අද කඩුවෙල මහේස්ත්‍රාත් චාමිනි විජේබණ්ඩාර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 15 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබේ.
වයස අවුරුදු 27ක් සහ 23ක් වන මෙම යුවල කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය පෙරේදා (05)ය. පැය 24ක් රදවාගෙන විමර්ශන පැවැත්වූ කොළඹ අපරාධ කොට්ඨාශය ඊයේ (06) අධිකරණයට ඔවුන් දෙදෙනාව ඉදිරිපත්කරමින් තවත් පැය 24ක කාලයක් රදවාගෙන විමර්ශන පැවැත්වීමට අවසරය ලබාගත්තේය.
එම කාලයද අවසන්වීම නිසා අද දිනයේ ඔවුන් දෙදෙනාව අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ බව කොළඹ අපරාධ කොට්ඨාශය සඳහන් කළේය.
මෙම ව්‍යාපාරිකයාව ඝාතනය වන්නේ පසුගිය 30 වෙනිදාය. ඔහුගේ මළ සිරුර හමුවන්නේ 02 වෙනිදාය.
ව්‍යාපාරිකයාගේ ඝාතනයෙන් පසු මෙම යුවල කටුනායක ඉන්දුනීසියාවට පළායාමට සූදානම් වූවත් වීසා ගැටළුවක් හේතුවෙන් ඔවුන්ට 31 වෙනිදා අලුයම් කාලයේදී රටින් පිටව යාමට ඉඩක් නොවීය. ඒ අනුව ඔවුන් දෙදෙනා ගුවන්තොටුපොලේ සිට බස් රථයකින් කොලොන්නාවට පැමිණ එහි ඥාති නිවසක රැදී සිට පසුව ත්‍රීකුණාමලය වෙත ගොස් තිබුණි. කදාන පොලීසියට ඔවුන් භාරවී තිබුණේ ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා පැමිණෙමින් සිටියදී කඩවතින් බස් රථයෙන් බැසය. අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගනිමින් ව්‍යාපාරිකයාගේ ඝාතන අභිරහස විසදනු ලැබීය.