තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නිදහස් උත්සවයට වැයවුණේ වෙන් කළ මුදලටත් වඩා අඩුවෙන් -ජනපති කාර්‍යාලය

    නිදහස් උත්සවයට වැයවුණේ වෙන් කළ මුදලටත් වඩා අඩුවෙන් -ජනපති කාර්‍යාලය

    75 වන නිදහස් දින සැමරුම් නිල රාජ්‍ය උත්සවයේ වියදම පිළිබඳ පළවන පුවත් සාවද්‍ය බවත් ඊට අධ්‍යාපන අමාත්‍යාංශ වැය ශීර්ෂයෙන් මුදල් ලබා ගෙන නැති බවත් ජනාධිපති කාර්යාලය දැනුම් දෙයි.

    මෙවර ජාතික නිදහස් දින සැමරුම් නිල රාජ්‍ය උත්සවය සඳහා වැය කරනු ලැබුවේ ඇස්තමේන්තුගත මුදලට වඩා ඉතාම අඩු මුදලක් බවත් එම කාර්‍යාලය අවධාරණය කරයි.

    ඒ අනුව මෙවර පැවැත්වූ 75 වන ජාතික නිදහස් දින සැමරුම් නිල රාජ්‍ය උත්සවය සඳහා රජය වැය කළ මුළු මුදල රුපියල් 11,130,011 ශත 29ක් පමණි.

    මෙම උත්සවය සඳහා රජය විසින් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කළ මුදලින් රුපියල් මිලියන 5.8ක් වැය කර ඇති බවට පළවන පුවත් ද මුළුමනින්ම සාවද්‍ය බව එම කාර්‍යාලය කියාසිටී.

    මෙම උත්සවය සඳහා වන මුලික වියදමක් අධ්‍යාපන අමාත්‍යංශය විසින් ඇස්තමේන්තු ගතකර තිබුණ ද එම කිසිඳු මුදලක් වැය කර නැති බව ජනාධිපති කාර්යාලය අවධාරණය කරයි.

    ආර්ථික අර්බුදය හේතුවෙන් නිදහස් සැමරුම් නිල රාජ්‍ය උත්සවයක් පැවැත්වීම වර්ජනය කිරීමට ජනතාවට බල කළ පටු දේශපාලන ක්‍රියාවලියේ තවත් දිගුවක් ලෙස මෙම සාවද්‍ය තොරතුරු ප්‍රචාරය පෙන්නුම් කරන බව ජනාධිපති කාර්‍යාලය කියයි.

    පැහැදිලිව එහි අපේක්ෂාව දුස් තොරතුරු හරහා ජනතාව නොමඟ යවා රජය ජනතාවගේ වෛරයට ලක්කිරීම සහ ආණ්ඩුව අපහසුතාවට පත්කර තම දේශපාලන අවශ්‍යතා ඉටුකර ගැනීම විය යුතු බව ජනාධිපති කාර්‍යාලය පෙන්වා දෙයි.

    ඒ වෙනුවෙන් නිදහස් දින සැමරුම් උත්සවයේ ජංගම වැසිකිළි පහසුකම් සැපයීමට කටයුතු කිරිම පවා වරදක් ලෙස ජනතාව වෙත ඒත්තු ගැන්වීමට උත්සාහ දරා ඇත.

    නමුත් අවධාරණය කළ යුතුව තිබෙන්නේ මෙම සැමරුම් උත්සවය සඳහා ආරාධිත ඉහළ පෙළේ විදෙස් රාජතාන්ත්‍රිකයන් වන ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ටකෙයි ෂන්සුකේ (Takei Shunsuke), භුතානයේ අධ්‍යාපන හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ජාබි බීර් රායි (Jai Bir Rai), මාලදිවයිනේ විදේශ අමාත්‍ය අබ්දුලිලා ෂහීඩ් (Abdulla Shahid), බංග්ලාදේශ විදේශ අමාත්‍ය ආචාර්ය ඒ.කේ. අබ්දුල් මොමෙන් (A.K. Abdulla Momen), පාකිස්ථාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය හිනා රබානි ඛා(ර්) (Hina Rabbani Khar), ඉන්දියානු විදේශ කටයුතු රාජය අමාත්‍ය වී. මුරලිදරන් (V. Muraleedharan), නේපාලයේ විදේශ අමාත්‍ය ආචාර්ය බිමලා රායි පෞද්‍යාල් (Bimala Rai Paudyal), පොදු රාජ්‍ය මණ්ඩලයීය මහලේකම් ප්‍රැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් (Patricia Scotland) යන මහත්ම මහත්මීහූ සහභාගී වූ බවය.

    තවද විදෙස් රටවල තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් 3200ක් පමණ මෙන්ම ත්‍රිවිධ හමුදාව සහ පොලිසියේ 6670ක් ඇතුළු අති විශාල පිරිසක් උත්සවය සඳහා එක්ව සිටියහ.

    එසේම නිදහස් දින සැමරුම් උළෙලේ පෙර පුහුණුවීම්වල නිරත පිරිස් සඳහා ද මෙම ජංගම වැසිකිළි පහසුකම් සපයා තිබිණි.

    එවැනි පසුබිමක දහස් සංඛ්‍යාත පිරිසක් රැස්වන උත්සවයක සෞඛ්‍යාරක්ෂිත බව නිසිලෙස තහවුරු කිරීමේ පියවරක් ලෙස ප්‍රමාණවත් පරිදි ජංගම වැසිකිළි පහසුකම් සැපයීම වෙනුවෙන් වැය බරක් දැරීම කිසිසේත්ම අනවශ්‍ය වියදමක් ලෙස දැක්විය නොහැකිය.

    අති විශාල පිරිසක් රැස්වන නිල රාජ්‍ය උත්සවයක එවැනි අංශයක් සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවධානයක් යොමු නොකිරීම රටම අපකීර්තියට පත්වන්නක් බව ද සඳහන් කළ යුතුය.

    තවද ජාතික නිදහස් දින සැමරුම් නිල රාජ්‍ය උත්සවය වෙනුවෙන් ද ප්‍රතිපාදන වෙන් කිරීම සාමාන්‍ය තත්ත්වයකි.

    එමෙන්ම මෙවර නිදහස් දින සැමරුම් උත්සවයට රජය වැය කර ඇත්තේ මීට පෙර නිදහස් දින සැමරුම් රාජ්‍ය උත්සව සදහා වැය කළ මුදලට වඩා ඉතාම අඩු මුදලක් බවද සිහිපත් කළ යුතුව ඇත.
    රට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී ඉන් ගොඩඑමින් පවතින මොහොතක මෙවන් රාජ්‍ය උත්සවයක් පැවැත්වීම යනු පැහැදිළිව යළි නැඟී සිටීමට රට සූදානම් කිරීමකි.

    අනෙක් අතට යළි නැගී සිටීම සඳහා අවශ්‍ය ධෛර්යය බිඳුවකින් අඩුවක් නොමැතිව ශ්‍රී ලංකා රාජ්‍යයට තිබෙන බවත්, අර්බුදය විසින් බිඳ දැමුණු ශ්‍රී ලංකා අභිමානය අත්පත් කරගන්නට ඇති සූදානම පිළිබඳ පණිවිඩය ලෝකය හමුවේ තැබීමක් ද වෙයි.

    එබැවින් පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ජාතික නිදහස් සැමරුම වැනි අභිමානවත් රාජ්‍ය උත්සවයක් සම්බන්ධයෙන් ගෙන යනු ලබන සාවද්‍ය ප්‍රචාර ඉතා කණගාටුවෙන් යුතුව ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති කාර්‍යාලය කියාසිටියේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img