සමගියේ ගැටුමක්

0

සමගි අධ්‍යාපන සේවක සංගමයේ නියෝජ්‍ය සභාපතිවරයාට කළ පහරදීමක් සම්බන්ධයෙන් හම්බන්තොට නගර සභාවට සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් වී සිටින අපේක්ෂකයෙක් මෙන්ම එම නගර සභාවේ මන්ත්‍රීවරයෙක් ද වන අනුර ශාන්ත මහතාව හම්බන්තොට මූලස්ථාන පොලීසියේ නිලධාරීන් විසින් ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබේ.

මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ගුරුවරයෙක් ලෙස සේවය කරන රමිත් ගාමිණි මහතාට මෙම පහරදීම සිදුව ඇත්තේ පෙරේදා (23) පෙරවරුවේදී හම්බන්තොට ඉදිමින්න ප්‍රදේශයේදීය.

සමගි අධ්‍යාපන සේවක සංගමයේ නියෝජ්‍ය සභාපතිවරයා වන රමිත් ගාමිණි මහතා පදිංචිව සිටින්නේ හම්බන්තොටය. නගර සභා මන්ත්‍රී අනුර ශාන්ත මහතා පදිංචිව සිටින්නේ ද ඒ ප්‍රදේශයේම බව පොලීසිය කියයි. මන්ත්‍රීවරයාගේ නිවස ආසන්නයේ ඇති වෙළද සැළට භාණ්ඩ මිලදී ගැනීමකට අදාලව මුදල් ලබාදීමකට සමගි අධ්‍යාපන සේවක සංගමයේ නියෝජ්‍ය සභාපතිවරයා පැමිණි අවස්ථාවේදී මන්ත්‍රීවරයා නිවසේ සිට එළියට පැමිණ මෙම පහරදීම කර ඇති බව පොලීසිය කියයි.

මන්ත්‍රීවරයාගෙන් පහරකෑ සමගි අධ්‍යාපන සේවක සංගමයේ නියෝජ්‍ය සභාපතිවරයා හම්බන්තොට රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ලබා තිබේ.

මෙම පහරදීමට හේතුව දෙදෙනා අතර මාසයක් තිස්සේ පවතින ආරවුලක් බව විමර්ශනවලින් අනාවරණය වී ඇත. එම ආරවුලට මුල අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමේදී ඇතිවුණු මත ගැටුමක් බව සඳහන්ය.

අත්අඩංගුවටගත් සැකකාර මන්ත්‍රීවරයාව හම්බන්තොට අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 03 ක ශාරීර ඇප මත මුදාහැරිය බව පොලීසිය කියයි.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version