තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ව්‍යාපෘතියක් නිසා කිතුල්ගල වයිට් වෝටර් රාෆ්ටින්වලට මතුවු ප්‍රශ්න ගැන හොයන්න රජය මැදිහත්...

    ව්‍යාපෘතියක් නිසා කිතුල්ගල වයිට් වෝටර් රාෆ්ටින්වලට මතුවු ප්‍රශ්න ගැන හොයන්න රජය මැදිහත් වෙයි

    දෙස්, විදෙස් සංචාරකයින්ගේ දැඩි ආකර්ශණයට ලක්ව තිබෙන කිතුල්ගල ක්‍රියාත්මක වන, ලෝකප්‍රකට ක්‍රීඩාවක් වන වයිට් වොටර් රාෆ්ටින් (white water Rafting) ජල ක්‍රීඩාව ආශ්‍රිතව බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි ව්‍යාපෘතිය හේතුවෙන් මතුව ඇති ගැටළු සොයා බලා ඊට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා කමිටුවක් පත්කිරීමට රජය පියවර ගෙන තිබේ.

    ඒ සඳහා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා උපදෙස් දුන්නේ ඊයේ (23) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.

    සංචාරක අමාත්‍යාංශයේ සහ රේඛීය ආයතනවල නිලධාරීන්ගෙන් සමන්විතව මෙම කමිටුව පත් කෙරේ.

    ඒ ආශ්‍රිතව ඉදිරිපත්ව ඇති ගැටළු පිළිබඳ ක්ෂේත්‍ර පරීක්ෂණයක් සිදුකර සති දෙකක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙස ද ජනාධිපති ලේකම්වරයා උපදෙස් ‍දුන්නේය.

    බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි ව්‍යාපෘතිය හේතුවෙන් කිතුල්ගල වෝටර් රාෆ්ටින් ක්‍රීඩාව පවත්වාගෙන යෑමට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව අදාළ සේවා සපයන පාර්ශ්ව පෙන්වා දෙති.

    මේ ‍හේතුවෙන් තමන්ගේ ජීවනෝපාය මාර්ගවලට ද විශාල බලපෑමක් එල්ල වී තිබෙන බවත් රටට විදේශ විනිමය උපයා ගැනීමට මහඟු හැකියාවක් ඇති මෙම ක්‍රීඩාවේ සුරක්ෂිතතාව වෙනුවෙන් කටයුතු කරන ලෙසත් ඔව්හු ඉල්ලා සිටිති.

    මෙම සාකච්ඡාවට සහභාගී වූ බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා පෙන්වා දුන්නේ පවතින තාක්ෂණික විධිවිධානවලට යටත්ව කිතුල්ගල වයිට් වෝටර් රාෆ්ටින් සේවා සපයන පාර්ශ්වයන් සමඟ ඉතා සහයෝගයෙන් කටයුතු කිරීමට පියවර ගෙන ඇති බවයි.

    නමුත් අදාළ සේවා සපයන පාර්ශ්ව පෙන්වා දුන් ප්‍රායෝගික ගැටලු පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපති ලේකම්වරයා ඒ සඳහා ලබාදිය හැකි කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img